ඉන්දියාව කියන්නේ ශ්‍රී ලාංකික අපට වඩා අතිශයින් දරුණු විදියට කාන්තා පිරිමි ලිංග භේදය සලකන රටක්. එය ඇතැම්විට මානව ධර්මතා උල්ලන්ගනය කරමින් ගැහැනු දරු උපත් තිඹිරිගෙය තුළම ඝාතනය කිරීම දක්වාද සාහසික වී ඇත. එවැනි රටක රජයේ පාසල් ගුරුවරියන්ට සාරිය අනිවාර්යයද? නැතිනම් වෙනත් නියමිත ඇඳුම් කේතයක් (Dress Code) හෝ සීමා පැනවීමක් තිබේද?

නිදහස හා ලිබරල් පාලනයක් පිළිබඳ කතා කිරීමේදී එහි ආදර්ශ රට ලෙස නිතැතින් ගැනෙන ඇමරිකා එක්සත් ජනපදය තුළ පාසල් ගුරුවරියන්ට නියමිත ඇඳුම් කේතයක් (Dress Code) හෝ සීමා පැනවීමක් තිබේද?

ලොව ඉහළම අධ්‍යාපන ක්‍රමවේදය හිමි ෆින්ලන්තයේ ගුරුවරියන් සඳහා නියමිත ඇඳුම් කේතයක් (Dress Code) හෝ සීමා පැනවීමක් තිබේද?

ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තය අනුව නීති රීති හා සම්ප්‍රධායන් වෙනස් වුවත් පොදුවේ මධ්‍යම ආණ්ඩුව විසින් ගෙන ආ දැනටත් ක්‍රියාත්මක ගුරුවරුන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ 2012 චක්‍රලේකයට අනුව, ගුරුවරියන්ට ජීන්ස් (jeans) ඇඳීම තහනම් කර ඇත. ඒ හැර පොදුවේ පාසැල් ගුරුවරියන් පැළඳිය යුතු ඇඳුම් කේතයක් නැතිනම් ඩේරෙස් කෝඩයක් ලෙස “Smart Business Dress” ( අප රටේ පොදු ව්‍යවහාරයේ භාවිතවන වචනයක් නොමැති බැවින් සිංහලට පරිවර්ථනය නොකර සිටිමු.) හා “Professional Attire” (වෘත්තීය ඇඳුම්, ලංකාවේ නම් සාරිය හො ඔසරිය ගත හැක.) නම්කර ඇත.

ඉන්දියානු ගුරුවරියන් වෘත්තීය ඩේරෙස් කෝඩය ලෙස අඳින සල්වාරය සහ සාරිය.

දැන් ඇමරිකාව තුල ගුරුවරියන් පිළිපැදිය යුතු ඇඳුම් කේතයක් නොහොත් ඩේරෙස් කෝඩයක් තිබේද බලමු?

විශේෂයෙන් එක්සත් ජනපදයේ බොහෝ පාසල්වල ගුරුවරුන්ට ඇඳුම් කේතයක් ලෙස ජීන්ස් ඇඳීම තහනම් කර ඇත. විශේෂිත දින සහ ඇතැම් පාසල්වල සිකුරාදා (Casual Friday) දින පමණක් මෙය බල නොපැවැත්වේ. මෙසේ ජීන්ස් ඇඳීම වැළැක්වීම විවිධ හේතූන් මත සිදු වේ. එක්සත් ජනපදයේ පොදු සංස්කෘතිය තුළ ජීන්ස් සැහැල්ලු ඇඳුමක් (Casual Wear) ලෙස සැලකේ. එය වෘත්තීය නොවන බැවින් ගුරු වෘත්තිය තුල එය වළවක්වා ඇත.

මෙතෙක් ඔබට මෙම ලිපියෙන් වැදගත් වචන දෙකක් මතු වී ඇත. එකක් නම් “ඇඳුම් කේතය” (Dress Code – ඩේරෙස් කෝඩය) හා “වෘත්තිය ඇඳුම” යන්නයි. එය මදක් සිහියේ තබාගෙන ෆින්ලන්තය හා වෙනත් රටවල් දෙස බලමු.

ෆින්ලන්තයේ ඇඳුම් පමණක් නොව අධ්‍යාපන ක්‍රමයම අපට හුරු පුරුදු හා දැක ඇති ක්‍රමවේදයක් නොවේ. එහි ශිෂ්‍යා අපගේ පාසල් ශිෂ්‍යයෙක් හා සංසන්දනය කිරීමට නොහැකිය. මන්ද විභාග කේන්ද්‍රීය යල්පැන ගිය අධ්‍යාපනයක සිර වූ කඩපාඩම් දැනුම වමාරන ශිෂ්‍යයෙකු බිහි නොකොට ස්වං අධ්‍යයනය තුළින් දැනුම සොයා යන ශිෂ්‍යයෙක් එරට බිහි කරයි. එය කිසිසේත් අප රටේ ආදරණීය දරුවන්ගේ වරදක් නොවන අතර ඉක්මනින්ම අපේ දරුවන්ටද ලෝකය හා සමව ගමන් කිරීමට අවස්ථාව උදා වෙනු ඇත. ඒ සඳහා එඩිර ටියුටර් (Edira Tutor) ආදී නව ලොව අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය කරන ආයතන හා පද්ධති බිහි වීමෙන් දරුවන් ලෝකය හා උරෙනුර ගැටෙන මොහොත නොබෝ කාලයකින් උදාවනු ඇත.

ෆින්ලන්තයේ පාසල් ශිෂ්‍යන් මෙන්ම ගුරුවරුන්ද වෙනත් රටක ගුරුවරුන් හා සංසන්දනය කිරීම නිශ්ඵලය. සැකවින් ඔවුනට කිසිඳු ඇඳුම් කේතයක් නොමැති අතර එවැනි නීති පැනවීමට තරම් ඔවුන් අතින් වැරදි අඩුපාඩුද සිදු නොවේ. ඇත්තෙන්ම සිදුවන්නේ, ලිංගික අපරාධ, බාල වයස් අපචාර, වගකීම් විරහිත හැසිරීම් හෝ අධ්‍යාපනයෙන් පිට දරුවන්ගේ මනස මෙහෙයවන වැරදි හා අඩු පාඩු සිදුකිරීමට ඇති අවස්ථා එරට අධ්‍යාපන යාන්ත්‍රණය විසින් මැනවින් පාලනය කිරීමයි.

අප්‍රිකාව, යුරෝපය ආදි රටවලද ගුරුවරුන්ට ඩේරෙස් කෝඩ කිහිපයක් දක්වා ඇති අතර ඒවා තුල ජීන්ස් හා තද ක්‍රීඩා පුහුණු ඇඳුම් ආදී කිහිපයක් තහනම් කර ඇත.

දැන් ලංකාව දෙස බලමු. අප සමාජය තුල ඇඳුම් කේතය නැතිනම් ඩේරෙස් කෝඩය කියන යෙදුම එතරම් සමාජගත වී නැහැ නේද? එය නියාමන ඒකකයක් ලෙස හෝ පොදු භාවිතයක් ලෙස පුළුල් වශයෙන් යොදාගෙන නෑ. ඩේරෙස් කෝඩය ඉතා සීමිත පිරිසකට හුරු පුරුදු වුවද එය යම් සමාජ ස්ථරයක පමණක් භාවිතවන යෙදුමකි. ගුරු වෘත්තිය ගැන දන්නා තරම් පුළුල් සමාජ වපසරියක් තුළ මෙම ඩේරෙස් කෝඩය යෙදුම පැතිර ගොස් නැත. එනිසාම ඇඳුම් පැළඳුම් පිළිබඳ හා එහි යාමනය ගැන කතා කිරීම සංකීර්ණ කටයුත්තක් වී ඇත.

ඇමරිකාවේ ගුරුවරියන්ට ජීන්ස් ඇඳීම තහනම් වන්නේ එය වෘත්තීමය ඇඳුමක් නොවන නිසාය. එවිට ලංකාවේ ගුරු වෘත්තියට හිමි ඉහළ සමාජ පිළිගැනීම සමඟ කාලාන්තරයක් පුරා රූපනය වන්නේ කලිසම කමිසය හැඳි ගුරුතුමාත්, සාරිය හෝ ඔසරිය හැඳි ගුරුතුමියත්ය. එබැවින් වෘත්තීය ඩේරෙස් කෝඩයක් ලෙස නොදැනුවත්වම අප රට තුළ ලියාපදිංචි වී ඇත්තේ ගුරුවරියන් සඳහා සාරිය හෝ ඔසරියයි.

මෙලෙස සාරි ඔසරි අපගේ සංස්කෘතික හා සාමාජීය සංකේතයක් බවට පත් වී ඇත. වෘත්තීමය ඩේරෙස් කෝඩය බවට පත්වී ඇත. පැවිදි පාර්ෂවයේ සැහැල්ලු ඇඳුමට දක්වන විරෝධය අප හඳුනාගත යුත්තේ මෙකී වෘත්තීමය ඩේරෙස් කෝඩය වෙනස් කිරීමට දක්වන විරෝධයක් ලෙසය. මෙය ලිංගික කුහකත්වයට ලගු කර බැලීමෙන් අපට සැබෑ ප්‍රශ්නය දැකීමටත් එයට විසඳුමක් ලබා ගැනීමටත් නොහැකි වෙනවා.

දැන් බලමු අප නොතේරුම්කමට භාවිතකරන සැහැල්ලු ඇඳුම යන අරුත. එය Casual Wear ලෙස පරිවර්තනයවන අතර ජීන්ස් ආදිය එම ගණයට අයත් වේ. ඒ අනුව සැහැල්ලු ඇඳුම් කියන යෙදුම ඩේරෙස් කෝඩයක් ලෙස ගත් කළ ගුරුවරියන්ට නොගැලපෙන බව පැහැඳිලිය.

එසේනම් ජීන්ස් හා තද ක්‍රීඩා පුහුණු ඇඳුම් ආදී වෘත්තීය නොවන ඇඳුම් ඉවත්කර සුදුසු ගැලපෙන ඩේරෙස් කෝඩයක් හඳුන්වා දිය යුතු නොවේද? පළමුව ඩේරෙස් කෝඩය යන යෙදුම සමාජගත කළ යුතු අතර වර්තමාන ගැටළුව විසඳිම ආරම්භ කළ යුත්තේ එතැනින්ය. දැන් බලමු ඇයි අපට ගුරුවරියන්ගේ වෘත්තීය ඩේරෙස් කෝඩය වෙනස් කළ යුත්තේ?

එය ආර්ථික අර්බුදය හමුවේ පැණ නැගුන ගැටළුවක්නම් සාරිය ඔසරිය වෙනුවට හඳුන්වා දිය යුතු ඩේරෙස් කෝඩයට ඇතුලත් විය යුත්තේ ආර්ථිකමය වශයෙන් එනම් අඩුවෙන් මුදල් වියඳම්වන ඇඳුම්ය. කාන්තාවකට ඇඳුම් හා ඒ හා සබැඳි ආයිත්තම් සලකා බලා එවැනි විසඳුමක් ලබා දීම කළ යුතුය. නැතිනම් සිදුවන්නේ කබලෙන් ලිපට වැටුනාක් මෙන් වියදම් දෙගුණ තෙගුන වීමයි. එතෙක් එසේනම් සාරිය හෝ ඔසරිය වෙනුවට ඇඳින අඳුම් අතර වෘත්තීය ඩේරෙස් කෝඩයන් නොවන ජීන්ස් ආදිය භාවිත නොකිරීමට දැනුම් දිය යුතුය. එය හුදෙක් ලිංගික කුහකත්වය හෝ නොදියුණු රටක ලක්ෂණයක් ලෙස නොව ලෝක සම්මතයක් පරිදි සැලකිය යුතුය.

තවද සාරිය හා ඔසරිය අතහරින්නේ එය පැළඳ වැඩ කිරීමේ අපහසුතාවය හෝ කාන්තා නිදහස පිළිබඳ සංකල්පයක් නිසානම් එය මෙම සංවාදයට හවුල් නොවිය යුතුය. මන්ද එය සංස්කෘතිකමය හා සාමාජිය ආකල්පමය වෙනසක් අරඹයා දියත් විය යුක්තක් හැර ආර්ථික ගැටළුවක් පැමිණෙන තුරු බලා සිටිය යුක්තක් නොවන නිසාය.

මේ මොහොතේ මෙම ලිපියෙන් බලාපොරොත්තු වූයේ සාරිය හා ගුරුවරිය අතර ප්‍රශ්නයේ සැබෑ හේතුව තෝරා බේරා ගනිමින් ඩේරෙස් කෝඩයනම් යෙදුම හා එහි ඇඳුම් වර්ගීකරණය සමාජගත කිරීම ආරම්භ කිරීමයි. තවද වෘත්තීය හා ගැලපෙන ඩේරෙස් කෝඩයන් ගෙන ඒමත් එහිදී නොගැලපෙන ඇඳුම් වෙන්කර නියාමනය කිරීමත් නිසි බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමයි.

දැනුම බෙදා හරින්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *