මානව දේහය තුළ විවිධ ජෛව ක්‍රියා රැසක් නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බව අපි දනිමු. එම ක්‍රියාවලි සහ ඒ සඳහා විශේෂණය වූ පද්ධති කිහිපයක් පිළිබඳව මෙහි දී විමසා බලමු.
ශරීරය තුළ සිදු වන විවිධ ජීව ක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වේ. එම ශක්තිය ලැබෙනුයේ අප ගන්නා ආහාරවලිනි. ආහාරවල අඩංගු ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ සංකීර්ණ කාබනික සංයෝග වන අතර ඒවා ජලයේ අද්‍රාව්‍ය වේ. මෙම සංයෝග ශරීරයට අවශෝෂණය කළ හැකි පරිදි කුඩා කොටස්වලට බිඳ ද්‍රාව්‍ය තත්ත්වයට පත් කළ යුතු ය. ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග, අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත් වීමේ ක්‍රියාවලිය ආහාර ජීරණය ලෙස හැඳින්වේ.
මෙය යාන්ත්‍රික හා රසායනික ක්‍රියාවලි මගින් සිදුවේ. යාන්ත්‍රික ක්‍රියාවලියේ දී ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වේ.
නිදසුන : මුඛය තුළ දී දත්වලින් ආහාරය කුඩා කැබලිවලට කැඩීම
රසායනික ක්‍රියාවලියේ දී ආහාරයේ අඩංගු සංකීර්ණ කාබනික සංයෝග මත අදාළ එන්සයිම ක්‍රියාත්මක වීමෙන් සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් වේ.
නිදසුන : මුඛ කුහරයේ දී, ටයලින් (ඛේට ඇමයිලේස්) එන්සයිමය මගින් පිෂ්ටය, මෝල්ටෝස් බවට පත්වීම.
ජීරණය වීමක් නොමැතිව ශරීරයට ඍජුව අවශෝෂණය කර ගත හැකි පෝෂක ද ඇත. ඛනිජ ලවණ, සමහර විටමින් වර්ග, ග්ලූකෝස්, පෘක්ටෝස් හා ගැලැක්ටෝස් එවැනි පෝෂක කිහිපයකි.
ආහාර ජීරණය සඳහා විශේෂණය වූ අවයව සමූහනයෙන් ජීරණ පද්ධතිය සංවිධානය වී ඇත.
මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය මුඛ කුහරයේ සිට ගුද මාර්ගය දක්වා ඇති තනි නාළයකි. අවශ්‍යතාව අනුව විවිධ තැන්වල දී එහි ව්‍යුහය වෙනස් වී ඇති අතර, ජීරණයට අවශ්‍ය එන්සයිම හා අනෙකුත් ද්‍රව්‍ය (නිදසුන් :- පිත) සපයන වෙනත් ග්‍රන්ථි (අක්මාව, අග්න්‍යාශය හා ඛේට ග්‍රන්ථි) විවිධ තැන්වල දී ඊට සම්බන්ධ වේ. ආහාර ජීරණ පද්ධතිය තුළ සිදු කෙරෙන කාර්ය වනුයේ ආහාර ජීරණය, ජීරණ ඵල අවශෝෂණය හා ජීරණය නොවූ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම යි.
ආහාර ජීරණ පද්ධතියට අයත් වන ප්‍රධාන අවයව 6.1 රූපයේ දැක්වේ.
ජීරණ පද්ධතියේ මුල් ම කොටස වන මුඛ කුහරයේ දී ආහාරයේ සිදුවන විපර්යාස විමසා බලමු.
මුඛ කුහරය බාහිරයට විවෘත වන දොරටුව මුඛය යි. එය ඉහළින් හා පහළින් මාංසල තොල් සඟළකින් වටවී ඇත. මුඛ කුහරය සෑදී ඇත්තේ උඩු හා යටි හණුවලිනි. යටිහණුව පමණක් චලනය කළ හැකි ය. හණු දෙකෙහි ම දත් පිහිටා ඇත. මුඛ කුහරය කම්මුල්වලින් වටවී ඇත. මුඛ කුහරය තුළ පිටුපසින්, පත්ලට සවි වූ දිවක් ඇත. මුඛ කුහරයට ඛේට ග්‍රන්ථී යුගල තුනකින් ඛේටය ස්‍රාවය වෙයි. දිව ආහාරයේ රස හඳුනාගන්නා අතර, ආහාර ඛේටය සමඟ මිශ්‍ර කිරීමටත් ආහාර ගිලීමටත් උදව් වේ.
පාන් හෝ බත් ස්වල්පයක් ටික වේලාවක් මුඛය තුළ තබාගෙන සපමින් සිටින විට පැණි රසක් දැනේ. එසේ වන්නේ ඇයි ? දත්වලින් විකා අඹරන ලද ආහාර මුඛ කුහරය තුළ දී ඛේටය සමග මිශ්‍ර වෙයි. ඛේටයේ ඇති ටයලින් (ඛේට ඇමයිලේස්) නමැති එන්සයිමය ආහාරයේ ඇති පිෂ්ටය මත සුළු වශයෙන් ක්‍රියාත්මක වී මොල්ටෝස් බවට හරවා ජීරණ ක්‍රියාව ආරම්භ කරයි.
මුඛ කුහරය තුළ දී ජීරණ ක්‍රියාවලිය ආරම්භ වූ ආහාර, ගුළියක් ලෙස සකස් වී එහි අපර කොටසට තල්ලු වෙයි. ඉන්පසු මුඛ කුහරයට අපරව ඇති ග්‍රසනිකාවට තල්ලු වෙයි.
ග්‍රසනිකාව යනු ආහාර මාර්ගයට අයත් අන්නස්‍රෝතයත් ශ්වසන මාර්ගයට අයත් ශ්වාසනාලයත් විවෘත වන පොදු කුටීරයයි.
ශ්වාසනාල ද්වාරය ආරම්භයේ චලනය විය හැකි අවයවයක් වන අපිඡිහ්විකාව නම් කුඩා පිධානයක් පිහිටා ඇත. ආහාර ගුළිය ගිලින විට අපිජිහ්විකාව මගින් ශ්වාසනාල ද්වාරය වැසේ. එවිට ආහාර ගුළිය ශ්වාසනාලයට ඇතුළු නොවී අන්නස්‍රෝතයට ඇතුළු වේ.
ආහාර ගුළි හෝ ජලය අන්නස්‍රෝතයට ඇතුළු නොවී ග්‍රසනිකාව තුළ හිරවීමෙන් පුද්ගලයින් මරණයට පත්වූ අවස්ථා ඇත. ආහාර හෝ ජලය ග්‍රසනිකාවේ හිරවූ විට අපිඡිහ්විකාව මගින් ශ්වාසනාලය දිගට ම වැසී පැවතීම එයට හේතුවයි. ආහාර ගුළිය වහාම ඉවත් නොකළහොත් ශ්වසන මාර්ගය අවහිර වීම නිසා පුද්ගලයා මිය යාමට ඉඩ ඇත.
අන්නස්‍රෝතය යනු හැකිළී තිබෙන නාළයකි. හැකිළී පවතින නාළයක් තුළින් ආහාර ගමන් කරන්නේ කෙසේ ද?
අන්නස්‍රෝතය දිගේ ආහාර ගුළි ගමන් කරන්නේ ක්‍රමාකුංචන චලන ඔස්සේ ය. අන්නස්‍රෝතය පේශිමය ව්‍යුහයක් බැවින් අන්නස්‍රෝත බිත්තියේ හැකිලීම් හා මහත්වීම් නිසා එහි ඇති වන ක්‍රමාකුංචන තරංග (චලන) ආහාර ගුළිය ඉදිරියට තල්ලු කිරීමට අවශ්‍ය තෙරපුම සපයයි. ක්‍රමාකුංචනය මගින් ආහාර අන්නස්‍රෝතයේ සිට ආමාශයට ගමන් කරයි.
ආමාශය තරමක් පළල් මල්ලක් වැනි අවයවයකි. ආමාශ බිත්තියේ ඇති පේශි ක්‍රියාත්මක වීමෙන් ඇති වන ක්‍රමාකුංචන තරංග නිසා ආහාර යාන්ත්‍රික ජීරණයට ලක් වී එනම් කුඩා කැබලිවලට කැඩී හොදින් මිශ්‍ර වී තලපයක් බවට පත්වෙයි. මෙය ආමලසය නම් වේ. ආමාශය තුළට ස්‍රාව වර්ග කිහිපයක් වැගිරේ. ඒවා සියල්ල ආමාශයික යුෂය නමින් හැඳින්වේ. ආමාශයික යුෂයේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා පෙප්සින් අඩංගු වේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් පෙප්සින් සක්‍රීය තත්ත්වයට පත් කරයි. එම පෙප්සීන් මගින් ප්‍රෝටීන් ජීරණය ආරම්භ වී අර්ධ ජීර්ණ ඵල වන පොලිපෙප්ටයිඩ සෑදේ.
ළදරුවන්ගේ ආමාශයික යුෂයේ රෙනින් නැමැති එන්සයිමය අඩංගු වේ. රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරයි. ආමාශය තුළ පැය තුනක් පමණ ආහාර රඳවා ගනී. මෙහි දී ජීරණ ඵල අවශෝෂණයක් සිදු නොවන නමුත් ජලය, ග්ලූකෝස් හා සමහර ඖෂධ වර්ග අවශෝෂණය කරයි.
අර්ධ වශයෙන් ජීරණය වූ ප්‍රෝටීන්, ජීරණය වූ හා නො වූ කාබෝහයිඩ්‍රේට, ජීරණය නො වූ ලිපිඩ, ජලය, ලවණ හා විටමින් අඩංගු ආමලසය, කොටස් වශයෙන් ක්ෂුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටස වන ග්‍රහණියට ඇතුළු වෙයි.
ආමාශය හිස් වූ පසුව ද එහි සංකෝචනය වීම් නොකඩවා සිදුවේ. හිස්ව තිබෙන කාලසීමාව වැඩි වන විට සංකෝචනය වීමේ වේගය ද වැඩිවේ. සමහර විට එයින් වේදනාවක් ද දැනේ. එමගින් අපට කුසගින්න දැනේ. කුසගින්න යනු ආහාර අවශ්‍ය බව හඟවන සංඥාවකි.
ආහාර ජීරණය ප්‍රධාන වශයෙන් ම සිදුවනුයේ ක්ෂුද්‍රාන්ත්‍රයේ දී ය. ඒ සදහා අග්න්‍යාශයික එන්සයිම මෙන්ම ආන්ත්‍රික එන්සයිම ද සහභාගි වේ.
ක්ෂුද්‍රාන්ත්‍රය මීටර හතක් පමණ දිග නාළාකාර ව්‍යුහයකි. ක්ෂුද්‍රාන්ත්‍රයේ මුල් කොටස ග්‍රහණිය වන අතර එය C හැඩයක් ගනී. අග්න්‍යාශයික ප්‍රනාලය හා පිත්ත ප්‍රනාලය එක ම විවරයකින් ග්‍රහණියට විවෘත වෙයි. ග්‍රහණියේ තිබෙන ආහාරයට අග්න්‍යාශයික ප්‍රනාලය මගින් අග්න්‍යාශයික යුෂය ගෙන එයි. එහි ට්‍රිප්සීන්, ඇමයිලේස් හා ලයිපේස් නැමැති ජීරණ එන්සයිම අඩංගු වේ. පිත්ත ප්‍රනාලයෙන් ගෙන එන පිත ද ඊට එකතු වේ. පිත අක්මාවේ නිපදවෙන අතර පිත්තාශයේ ගබඩා කෙරේ. පිත් වර්ණක, පිත් ලවණ, බයිකාබනේට් ලවණ හා ජලය ආදිය පිතෙහි අඩංගු වේ.
ග්‍රහණියේ දී ආහාරයට එකතු වූ පිත සමග ආහාර මිශ්‍ර වීමෙන් ආහාරයේ ඇති ලිපිඩ, බිඳිති බවට පත් වේ. මෙය තෛලෝදකරණය ලෙස හැඳින්වේ. මේ නිසා එන්සයිමයට ලිපිඩ මත ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබේ.
ක්ෂුද්‍රාන්ත්‍ර බිත්තිය මගින් ස්‍රාවය කරන ආන්ත්‍රික යුෂයේ මෝල්ටේස්, සුක්රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස් නමැති ජීරණ එන්සයිම ද ශ්ලේෂ්මල ද අඩංගු වේ.
ශ්ලේෂ්මලය මගින් ආහාරය ස්නේහනය කිරීම සිදුකරන අතර ආහාරය, ආහාර මාර්ගය තුළ ගමන් කිරීම පහසු කරයි. එමෙන් ම ආමාශ බිත්තියේ හා ක්ෂුද්‍රාන්ත්‍ර බිත්තියේ අඩංගු ප්‍රෝටීන්, ජීරණ යුෂවලින් ජීරණය නොවී ආරක්ෂා කරයි.
ක්ෂුද්‍රාන්තයේ දී සිදුවන ආහාර ජීරණය පිළිබඳ තොරතුරු 6.1 වගුවේ ආකාරයට සාරාංශ ගත කළ හැකි ය.
මේ අනුව ආහාර ජීරණ ක්‍රියාවලියේ අන්ත ඵල මෙසේ දැක්විය හැකි ය.
ආහාර ජීරණයේ අන්තඵල දේහයට අවශෝෂණය කිරීම ප්‍රධාන වශයෙන් ම සිදුවනුයේ ක්ෂුද්‍රාන්ත්‍රයේ දී ය. අවශෝෂණ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට ක්ෂුද්‍රාන්ත්‍රය පහත සඳහන් ලෙස අනුවර්තනය වී ඇත.
● ක්ෂුද්‍රාන්ත්‍රය ඉතා දිගු වීම.
● ක්ෂුද්‍රාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිය මත වෘත්තාකාර නැමුම් හෙවත් නෙරීම් පිහිටා තිබිම.
● අභ්‍යන්තර බිත්තිවල රැලි මත අංගුලිකා නම් වූ ඇඟිලි වැනි නෙරීම් රාශියක් පිහිටා තිබීම.
● අංගුලිකා මත ක්ෂුද්‍ර අංගුලිකා පිහිටා තිබීම
● අංගුලිකා බිත්ති ඉතා තුනී වීම
● අංගුලිකාවලට මනා රුධිර සැපයුමක් තිබීම
ක්ෂුද්‍රාන්ත්‍රයේ අංගුලිකාවල ඇති රුධිර කේශනාලිකා තුළට පහත සඳහන් ජීරණ ඵල අවශෝෂණය වේ.
● ඇමයිනො අම්ල
● විටමින්
● ඛනිජ ලවණ
● මොනොසැකරයිඩ (ග්ලූකෝස්/ ගැලැක්ටෝස්/ පෘක්ටෝස්)
ලිපිඩ ජීරණයෙන් ඇතිවන මේද අම්ල හා ග්ලිසරෝල් පයෝලස නාලිකාවලට අවශෝෂණය වේ. පයෝලස නාලිකාව වසා වාහිනියකි. එම ද්‍රව්‍ය පයෝලස නාලිකාවල සිට අවසානයේ දී වසා පද්ධතිය ඔස්සේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වේ. රුධිරයේ ග්ලූකෝස් වැඩිපුර ඇතිවිට ඒවා ග්ලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් වේ. රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වූ විට ග්ලයිකොජන් බිද හෙලීමෙන් ග්ලූකෝස් රුධිරයට එකතු වේ. අවශෝෂණය නොවී ඉතිරි වන ද්‍රව්‍ය සියල්ල ඉන්පසු මහාන්ත්‍රයට ඇතුළු වේ.
මහාන්ත්‍රය මීටර 1.5ක් පමණ දිග ය. එය උණ්ඩුකයෙන් ආරම්භ වී ගුදයෙන් අවසන් වේ. මහාන්ත්‍රයේ විදුර කොටස වන ගුද මාර්ගය තරමක් පළල් වූ ප්‍රදේශයකි. එහි කෙළවර පිහිටි විවරය ගුදයයි. මහාන්ත්‍රයට ඇතුළු වන ද්‍රව්‍යවල පෝෂක අඩංගු වන්නේ අල්ප වශයෙනි. එම ද්‍රව්‍යවල බොහෝ සෙයින් ඇත්තේ ජලය හා ජීරණය නො වූ සෙලියුලෝස් වැනි සංයෝගයි.
මහාන්ත්‍රය ආරම්භ වන උණ්ඩුකයේ පසු කෙළවරින් උණ්ඩුක පුච්ඡය නම් සංවෘත කුඩා නාළයක් ඇත. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය කුඩා ය. ඇතැම් විට මෙය අසාදනය වී ඉදිමීමට ඉඩ ඇත. මෙම රෝගී තත්ත්වය උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය (Appendicitis) නම් වේ.
මහාන්ත්‍රය මගින් සිදුකරන කෘත්‍ය වනුයේ මහාන්ත්‍රයට ඇතුළු වන තරලමය ද්‍රව්‍යවලින් ජලය අවශෝෂණය කර එම ද්‍රව්‍ය අර්ධ ඝන තත්ත්වයට පත් කිරීමයි.
මහාන්ත්‍රයේ ඇති ද්‍රව්‍ය ගුද මාර්ගයට ඇතුළු වූ විට මල වශයෙන් හැඳින්වේ. මල අර්ධ ඝන ද්‍රව්‍යයක් වන අතර එහි ඇති පිත්ත වර්ණක නිසා කහ පැහැයක් ගනි. මලවල ජීරණය නොවූ ද්‍රව්‍ය, ක්ෂුද්‍රජීවීන්, ආහාර මාර්ග බිත්තියෙන් ගැලවුණු අපිච්ඡද සෛල හා ශ්ලේෂ්මලය අඩංගු වේ.
ගුද මාර්ගය මල ද්‍රව්‍යවලින් පිරුණ විට ගුදය ඔස්සේ සිරුරෙන් බැහැර කෙරේ.
ආහාර ජීරණ පද්ධතියට බැහැරින් ද්‍රව්‍ය ඇතුළු වීම නිරන්තරයෙන් සිදුවන නිසා ක්ෂුද්‍ර ජීවීන් මගින් ආසාදනය වීමට ඇති ඉඩකඩ ද වැඩි ය. ඒ නිසාම ආහාර ජීරණ පද්ධතිය විවිධ රෝගාබාධවලට ලක් වේ.
ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ආස්තරය ප්‍රදාහයට පත් වීම ගැස්ට්‍රයිටිස් ලෙස හැදින්වේ. ජනතාව අතර බහුල රෝගී තත්ත්වයකි. සාමාන්‍යයෙන් අම්ලගතිය ලෙස හැඳින්වෙන අතර රෝගයේ ලක්ෂණ වනුයේ ඇඹුල් රස උගුරට ඒම, ආමාශයේ දැවිල්ල හා වේදනාව යි. රෝගී තත්ත්වය උත්සන්න වූ විට ආමාශ බිත්තියේ හා ග්‍රහණියේ තුවාල ඇතිවේ. විවිධ හේතු නිසා ගැස්ට්‍රයිටිස් ඇතිවිය හැකි ය.
● නියමිත වේලාවට ආහාර නොගැනීම
● අම්ල, මිරිස් හා තෙල් අධික ආහාර ගැනීම
● අධික ලෙස මද්‍යසාර සහ දුම්වැටි භාවිතය
● මානසික ආතතිය
නිවැරදි ආහාර පුරුදු මෙන් ම යහපත් ජීවන රටාව මගින් ගැස්ට්‍රයිටිස් වළක්වා ගත හැකි ය.
මල ද්‍රව්‍ය ඝන තත්ත්වයට පත් වීම නිසා බැහැර කිරීමට අපහසු වීම මල බද්ධයයි. මහාන්ත්‍රය තුළ වැඩි කාලයක් මල ද්‍රව්‍ය රැඳී තිබීම නිසා මහාන්ත්‍රයට අධික ලෙස ජලය අවශෝෂණය වීමෙන් මෙම තත්ත්වය ඇති වේ.
පහත සඳහන් කරුණු ද මල බද්ධයට හේතු වේ.
● පරිභෝජනය කරන ආහාරයේ තන්තු ප්‍රමාණය අඩු වීම
● අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම
● මල පහ කිරීමේ අවශ්‍යතාව කල් දැමීම
ඉහත සඳහන් කළ තත්ත්ව මග හරවා ගැනීමෙන් මල බද්ධය වළක්වා ගත හැකි ය. සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග ද මල බද්ධයට හේතු විය හැකි ය. මල බද්ධය පවතින අවස්ථාවේ දී මලපහ කිරීමට වැර යෙදීමෙන් ගුද මාර්ගයේ පටක තුවාල වී රුධිර වහනය සිදුවීමට ද ඉඩ ඇත. නිරන්තර මල බද්ධය අර්ශස් රෝගයට තුඩු දිය හැකි ය.
බැක්ටීරියාවක් මගින් බෝවෙන රෝගයකි. රෝග කාරකයා ශරීර ගත වන්නේ ආහාර පාන මගිනි. දූෂිත වූ ජලයේ පිහිනීිමේ දී හෝ ස්නානය කිරීමේ දී මෙම බැක්ටීරියාව මුඛයට ඇතුළු වේ. අපවිත්‍ර ජලයෙන්, රෝගියකුගේ මල මූත්‍ර ආදියෙන් අපවිත්‍ර වූ ස්ථානවල වසන මැස්සන් මගින් හා දූෂිත ආහාර පරිභෝජනයෙන් ද රෝගය බෝවීමට ඉඩ ඇත. අතපය වේදනාව, හිසරදය හා ක්‍රමයෙන් වැඩිවන උණ, මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ. රෝගයේ මුල් අවස්ථාවේ මල බද්ධය ඇති වීමට ද ඉඩ ඇත. දිවේ අධික ලෙස කාරම බැඳේ. රෝග ලක්ෂණ ඇති වී ටික දිනකින් උදරයේ වේදනාව හා පාචනය ඇති වේ. ක්ෂුද්‍රාන්ත්‍රයේ තුවාල සෑදී රුධිරය වහනය වීමට ඉඩ ඇත. මෙම රුධිරය මල සමග පිටවේ. තුවාල නිසා අන්ත්‍ර සිදුරු වීමට ද ඉඩ ඇත. මෙම රෝගය හදුනාගත හැක්කේ රෝගියාගේ රුධිර හෝ අසූචි පරීක්ෂාවක් මගිනි. උණ සන්නිපාත ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් රෝගය සෑදීම වළක්වා ගත හැකි ය.
වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ පරපෝෂිතයෙක් හෝ මගින් අන්ත්‍ර ආසාදනය වීමෙන් පාචනය ඇති වේ. මෙම රෝගය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වනුයේ ආසාදිතයකුගේ අසූචි මගිනි. දූෂිත වූ ආහාර හෝ ජලය පරිභෝජනය කිරීමෙන් රෝගය පැතිරේ. රෝග ලක්ෂණ වන්නේ දියර තත්ත්වයෙන් මල පහවීම යි. මහාන්ත්‍රයේ දී මලවල ඇති ජලය නිසි පරිදි අවශෝෂණය නොවීම මෙයට හේතුවයි. වැඩිපුර පාචනය වීමෙන් ඇති වන තරල හානිය නිසා විජලන තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. පාචනයේ දී විජලන තත්ත්වය උග්‍රවීම මාරාන්තික විය හැකි බැවින් හැකි තරම් දියර ලබා දීම හා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත් වේ.
උණසන්නිපාතය සහ පාචනය වළක්වා ගැනීමට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගත හැකි ය.
● නටවා නිවා ගත් ජලය පානය කිරීම
● මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා ඔවුන් ආහාර මත වැසීම වැළැක්වීමට ආහාර පාන වසා තැබීම
● මාර්ග අසල විවෘතව අලෙවි කරන ආහාරපාන ගැනීමෙන් වැළකීම
● ජල මුද්‍රිත වැසිකිලි භාවිතය
● වැසිකිලි භාවිතයෙන් පසු රෝගියා තම දෙඅත් සබන් යොදා මනාව පිරිසිදු කර ගැනීම