මිනිසාගේ සමායෝජනය හා සමස්ථිති ක්‍රියාවලිය

පාදයේ කටුවක් ඇණුන අවස්ථාවක එම පාදය වහාම එසවුණ බව ඔබට මතක ද? එසේ බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ජීවීන්ට ඇති හැකියාව උද්දීප්‍යතාවයි.
ඉහත ක්‍රියාවලිය සිදුවූයේ සංවේදී ඉන්ද්‍රියය හා කාරකය අතර මනා සම්බන්ධීකරණය හේතුවෙනි. අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීමවලට අනුකූලව දේහ ක්‍රියාකාරීත්වය හැඩ ගැසීමේ ක්‍රියාවලිය සමායෝජනය ලෙස හැඳින්වේ. සංවේදී ඉන්ද්‍රියයන්ට ගෝචර වන පරිදි පරිසරයේ සිදුවන වෙනස්වීමක් උත්තේජයක් ලෙස හඳුන්වමු. උත්තේජ හඳුනාගැනීමට (ප්‍රතිග්‍රහණය) ඉවහල් වන සංවේදී ඉන්ද්‍රියයන් ප්‍රතිග්‍රාහක නම් වේ. අපගේ ප්‍රතිග්‍රාහක ලෙස ඇස, කන, නාසය, දිව හා සම යන ඉන්ද්‍රියයන් ක්‍රියා කරයි.
උත්තේජයක් සඳහා දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතිචාර ලෙස හඳුන්වයි. ප්‍රතිචාර දැක්වීමට කාරක පිහිටා තිබේ. කාරක ලෙස පේශි හා ග්‍රන්ථි ක්‍රියාකරයි.
පාදයේ කටුවක් ඇණුනු විට වහාම පාදය එසවීම පිළිබඳ ව සිහිපත් කරන්න. එහි දී කටුව ඇණුනු විට ඇති වන වේදනාව උත්තේජයයි. එම උත්තේජය ප්‍රතිග්‍රහණය කරන ලද්දේ සම මගිනි. සම සංවේදී ඉන්ද්‍රියයි. වහාම පාදය එසවීම ප්‍රතිචාරය වන අතර ඒ සඳහා පාදයේ පේශි කාරකය ලෙස ක්‍රියා කරයි.
දේහ ක්‍රියා විධිමත්ව සිදු කර ගැනීමට අවයව හා පටක අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම අවශ්‍ය බව ඔබට වැටහෙනු ඇත. බාහිර හා අභ්‍යන්තර පරිසර තත්ත්වවල වෙනස්කම් හඳුනා ගනිමින්, ඒවාට නියමිත ප්‍රතිචාර දැක්වීම සමායෝජනයේ දී සිදුවේ.
සමායෝජනය සඳහා සංවිධානය වූ එකිනෙකට සම්බන්ධ නමුත් වෙනස් පද්ධති දෙකක් සත්ත්ව දේහය තුළ පවතී. එම පද්ධති වනුයේ,
● ස්නායු පද්ධතිය
● අන්තරාසර්ග පද්ධතිය යි
ස්නායු පද්ධතිය මගින් සිදුවන සමායෝජනය ස්නායුක සමායෝජනය ලෙස හඳුන්වයි. අන්තරාසර්ග පද්ධතිය මගින් සිදුවන සමායෝජනය රසායනික සමායෝජනය හෙවත් අස්නායුක සමායෝජනය ලෙස හැඳින්වේ. ස්නායුක සමායෝජනයේ දී ආවේග
සම්ප්‍රේෂණය වීම ස්නායු මගින් සිදුවන අතර එහි දී ආවේගය ඉලක්ක ගත කාරකයක් වෙත ගමන් කරයි. රසායනික සමායෝජනයේ දී ඒ සඳහා සහභාගි වන හෝර්මෝන රුධිරයට ස්‍රාවය වන අතර එම හෝර්මෝනයේ සාන්ද්‍රණය අනුව අදාළ කාරකය ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට පෙළඹේ.

ස්නායුක සමායෝජනය

ස්නායුවේ ඇති වන විද්‍යුත් රසායනික වෙනස් වීමක් නිසා ස්නායු ඔස්සේ ආවේග සම්ප්‍රේෂණය වේ. මෙහි දී සංවේදී ඉන්ද්‍රියය හා කාරක අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනියි. ස්නායුක සමායෝජනය ස්නායු පද්ධතිය මැදිහත් වීමෙන් සිදු වේ.
ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය ස්නායු සෛලය හෙවත් නියුරෝනය යි. ස්නායු පද්ධතිය තුළ නියුරෝන වර්ග තුනක් දක්නට ලැබේ. එනම්,
● සංවේදක නියුරෝන
● චාලක නියුරෝන
● අන්තර්හාර නියුරෝන
ස්නායු පද්ධතිය, සැලකූ විට එය මධ්‍ය ස්නායු පද්ධතිය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එහි ව්‍යුහය පහත දැක්වෙන දළ සටහනින් සරලව දැක්විය හැකි ය.

මධ්‍ය ස්නායු පද්ධතිය

ස්නායු පද්ධතියේ ක්‍රියා පාලනය සහ සමායෝජනය සඳහා මධ්‍ය ස්නායු පද්ධතිය අතිශයින් වැදගත් වේ. මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතියට මොළය හා සුෂුම්නාව අයත් වේ. මොළය, කපාලය (හිස්කබල) තුළ පිහිටා තිබීමෙන් ද, සුෂුම්නාව කශේරුව තුළ පිහිටා තිබීමෙන් ද, ඒවාට ආරක්ෂාව ලැබී ඇත.
මොළය හා සුෂුම්නාව යන ව්‍යුහ දෙක ම මෙනින්ජීය පටලවලින් ආවරණය වී ඇත.
මොළය තුළ කුහර පවතින අතර ඒවා තුළත් මෙනින්ජීය පටල අතරත් සුෂුම්නාවේ මධ්‍ය නාළය තුළ ත් පවතින විශේෂිත වූ තරලයක් ඇත. එය මස්තිෂ්ක සුෂුම්නා තරලය ලෙස හැඳින්වේ. එමගින් ඉටු කරන කෘත්‍ය පහත දක්වා ඇත.
● මොළයට හා සුෂුම්නාවට උත්ප්ලවකතාව (ඉපිලීම) සැපයීම
● කම්පන අවශෝෂණය කිරීම
● විජලනයෙන් හා ක්ෂුද්‍ර ජීවී ආසාදනවලින් ආරක්ෂා කිරීම
● උෂ්ණත්ව වෙනස්වීම්වලින් ආරක්ෂා වීම.

මොළය

කපාල කුහරය තුළ මොළය පිහිටා ඇත. මිනිස් මොළය පුද්ගලයාගේ දේහ බරින් 1/50ක් පමණ වේ. මෙහි නියුරෝන බිලියන සිය ගණනක් පවතී. මෙම නියුරෝනවලට අමතරව නියුරෝග්ලියා නම් සෛල විශේෂයක් මොළයේ පවතී. මොළය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත ය. එනම්,

මොළයේ බාහිරයට වන්නට ස්නායු සෛල දේහ පිහිටා ඇති අතර ඒවා අළු පැහැති වේ. එම සෛල දේහ ධූසර ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඊට ඇතුළතින් ස්නායු තන්තු පිහිටයි. ස්නායු තන්තු සුදු පැහැති මයලීන් කොපු සහිත බැවින් ශ්වේත ද්‍රව්‍ය ලෙස හැඳින්වේ.

මස්තිෂ්කය

මිනිස් මොළයේ විශාලතම කොටස මස්තිෂ්කයයි. මස්තිෂ්කය වම් හා දකුණු වශයෙන් අර්ධ ගෝල දෙකකට
බෙදී පවතී. මස්තිෂ්ක බාහිකය අතිශයින් සංවලිත වීමෙන් බාහිකයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වී තිබේ. වම් මස්තිෂ්ක අර්ධගෝලය මගින් දේහයේ දකුණු භාගය ද, දකුණු මස්තිෂ්ක අර්ධගෝලය මගින් දේහයේ වම් භාගය ද පාලනය කරයි.

මස්තිෂ්කයේ කෘත්‍ය

● ප්‍රතිග්‍රාහකවල සිට පැමිණෙන ආවේග ලබා ගැනීමත්, එම ආවේගවලින් ලැබෙන සංවේදී තොරතුරු තේරුම් ගැනීමත් එම තොරතුරු ගබඩා කිරීමත් සිදු කරයි.
● වේදනාව, දෘෂ්ටිය, උෂ්ණත්වය, රස, ගන්ධය වැනි සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම.
● ඉගෙනීම, සිතීම, බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා ඇති කරයි.
● ඉච්ඡානුග පේශි (කංකාල පේශි) සංකෝචන පාලනය කරයි.

අනුමස්තිෂ්කය

මස්තිෂ්කයේ අපර කොටසට වහාම පහළින් අනු මස්තිෂ්කය පිහිටා තිබේ. එය අර්ධ ගෝල දෙකකින් සමන්විත වේ. එහි මතුපිටින් ධූසර ද්‍රව්‍ය හා ගැඹුරින් ශ්වේත ද්‍රව්‍ය ඇත.

අනුමස්තිෂ්කයේ කෘත්‍ය

● දේහ සමතුලිතතාව පවත්වා ගැනීම
● ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම
● දේහයේ චලන නිසියාකාරව සිදු කිරීමට දායක වීම

සුෂුම්නා ශීර්ෂකය

අනුමස්තිෂ්කයට පිටුපසින් අධරව සුෂුම්නා ශීර්ෂකය පිහිටා තිබේ. සුෂුම්නා ශීර්ෂකය ජීවී බව පවත්වා ගැනීමට අදාළ වැදගත් ක්‍රියාවලි පාලනය කරන මධ්‍යස්ථානයකි.

සුසුම්නා ශීර්ෂකයේ කෘත්‍ය

● හෘත් ස්පන්දන වේගය පාලනය කිරීම
● ශ්වසනය පාලනය කිරීම
● වමනය, කැස්ස, කිවිසුම් යාම, ඉක්කාව හා ගිලීම වැනි ප්‍රතීක ක්‍රියා පාලනය කිරීම

සුෂුම්නාව

සුෂුම්නාව සුෂුම්නා ශීර්ෂකයේ අධරීය ව ආරම්භ වී කශේරුකාව තුළින් ගමන් කරන නාළාකාර ව්‍යුහයකි. සුෂුම්නාවේ බාහිරයට වන්නට ශ්වේත ද්‍රව්‍ය ද (White matter) අභ්‍යන්තරයට වන්නට ධූසර ද්‍රව්‍ය ද (Grey matter) පිහිටයි. සුෂුම්නාව දෙපසින්
සමමිතික යුගල ලෙස සුෂුම්නා ස්නායු හටගනී.

ප්‍රතීක චාපය

ස්නායු පද්ධතිය මගින් දේහයේ ප්‍රතිග්‍රාහක (සංවේදක) අවයව හා කාරක අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගන්නා බව අපි දනිමු. මෙහි දී ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙතටත් මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙතටත් ආවේග සම්ප්‍රේෂණය කරයි. මෙලෙස සම්බන්ධීකරණය පවත්වා ගන්නා ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ප්‍රතීක චාපය ලෙස හැඳින්වේ.
ප්‍රතීක චාපයක් සඳහා සංවේදක නියුරෝනය, අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝනය යන නියුරෝන වර්ග තුනම සහභාගි වේ. ප්‍රතීක චාපයක සහභාගීත්වයෙන් ප්‍රතීක ක්‍රියා සිදුවේ.

ප්‍රතීක ක්‍රියා

සමහර අවස්ථාවල දී මොළයේ ඉච්ඡානුග මැදිහත්වීමකින් තොරව එනම් සිතීමකින් තොරව උත්තේජ සඳහා ප්‍රතිචාර දැක්වීම සිදුවේ. මෙසේ උත්තේජයක් සඳහා ඇතිවන ක්ෂණික හා අනිච්ඡානුග ප්‍රතිචාරයක් ප්‍රතීක ක්‍රියාවක් ලෙස හැඳින්වේ.
ප්‍රතීක ක්‍රියා සුෂුම්නා ප්‍රතීක ක්‍රියා හා කපාල ප්‍රතීක ක්‍රියා ලෙස වර්ග දෙකකි.
සුෂුම්නා ප්‍රතීක ක්‍රියා සඳහා නිදසුන් :- රත් වූ යමක අත ගැටුණු විට අත වහා ඉවතට ගැනීම, පාදයේ කටුවක් ඇණුනු විට ක්ෂණිකව පාදය ඉවතට ගැනීම.
කපාල ප්‍රතීක ක්‍රියා සඳහා නිදසුන් :- කිවිසීම, කටට කෙළ ඉනීම, ඇසිපිය ගැසීම.

ස්වයං සාධක ස්නායු පද්ධතිය

ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් ස්නායු සැපයෙන්නේ අනිච්ඡානුගව පාලනය වන දේහයේ අභ්‍යන්තර අවයවවලට යි. එම නිසා මෙම ස්නායු පද්ධතිය අනිච්ඡානුග දේහ ක්‍රියා සමායෝජනය සිදු කරයි. සුසුම්නාව දෙපස ගැංග්ලියම් ශ්‍රේණියක් ලෙස පිහිටන ස්වයං සාධක ස්නායු පද්ධතිය මොළය මගින් පාලනය වේ.
ස්වයං සාධක ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත ය.
● අනුවේගි ස්නායු පද්ධතිය
● ප්‍රත්‍යානුවේගි ස්නායු පද්ධතිය
අනුවේගි හා ප්‍රත්‍යානුවේගි පද්ධති මඟින් සාමාන්‍යයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියා ඇතිකරයි. හදිසි අවස්ථාවක දී වඩාත් ප්‍රමුඛව ක්‍රියාකාරි වනුයේ අනුවේගි පද්ධතිය යි.
එමගින් පහරදීමේ හෝ පලායෑමේ ප්‍රතිචාරය (Fight or Flight) ඇති කරයි.

අනුවේගි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා දේහයේ සිදුවන වෙනස්කම් යථා තත්ත්වයට පත්කරනුයේ ප්‍රත්‍යානුවේගි ස්නායු පද්ධතිය මගිනි. එම ක්‍රියාවලි පහත සටහනින් දක්වා ඇත.

රසායනික සමායෝජනය

ස්නායුක සමායෝජනය මෙන් ම හෝර්මෝනමය සමායෝජනය ද ජීවියකුගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. රසායනික සමායෝජනයේ දී අන්තරාසර්ග ග්‍රන්ථි (නිර්නාල ග්‍රන්ථි) මගින් නිපදවන හෝර්මෝන නම් රසායනික ද්‍රව්‍ය වැදගත් වේ. හෝර්මෝන පරිවහනය සඳහා විශේෂ නාළ නොමැත. එම නිසා රුධිරය ඔස්සේ මෙම හෝර්මෝන පරිවහනය වේ.

හෝර්මෝනවල ලාක්ෂණික

● කාබනික සංයෝග වීම
● රුධිරය මගින් පරිවහනය වීම
● කිසියම් ස්ථානයක නිපදවී වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම
● ඉලක්ක අවයව උත්තේජනය කිරීම
● ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම

මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය

සමස්ථිතිය (Homeostasis)

බාහිර පරිසරයේ සිදුවන වෙනස්වීම්වලින් ස්වාධීනව ජීවියකුගේ දේහය තුළ නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීම සමස්ථිතිය ලෙස හැඳින්වේ.
අභ්‍යන්තර පරිසරය ලෙස හඳුන්වනුයේ දේහ සෛලවලට ජිවත්වීම සඳහා මාධ්‍ය සපයන එම සෛල ආසන්නයේ ම පවතින වටපිටාව යි. දේහ සෛල වටා පවතින පටක තරලයත් රුධිර සෛල වටා පවතින රුධිර ප්ලාස්මයත් වසා වාහිනී තූළ ඇති වසා තරලයත් මිනිසාගේ අභ්‍යන්තර පරිසරයට අයත් වේ.
අභ්‍යන්තර පරිසර තත්ත්වයේ සුළු වෙනස්වීමක් වුවද එය දේහ සෛලවල ක්‍රියාකාරීත්වය කෙරෙහි අතිශයින් බලපායි. මේ නිසා ජීවක්‍රියා නිසි පරිදි පවත්වා ගැනීම සඳහා අභ්‍යන්තර පරිසර සාධක නියත මට්ටමක හෝ සෛලවලට දරාගත හැකි පරාසයක් තුළ පවත්වා ගත යුතු ය. එසේ නොවුනහොත් ඒ සඳහා ශරීරය තුළ පාලනය විය යුතු සාධක මෙන්ම සමස්තිථියේ දී නිවැරදි කිරීමේ යාන්ත්‍රණ ආරම්භ වේ.

අභ්‍යන්තර පරිසරයේ යාමනය කළ යුතු සාධක

● රුධිරයේ ග්ලූකෝස් මට්ටම
● දේහ උෂ්ණත්වය
● ජල තුල්‍යතාව

මිනිසාගේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය

නිරෝගී වැඩිහිටි පුද්ගලයකුගේ රුධිරගත ග්ලූකෝස් සාන්ද්‍රණය රුධිර 100 cm3 ක ග්ලූකෝස් 80-120 mg වේ. රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විට අග්න්‍යාශයේ ලැන්ගර්හෑන්දීපිකාවල වූ බීටා සෛල මගින් ඉන්සියුලින් හෝර්මෝනය ස්‍රාවය කරයි. මෙම හෝර්මෝනය මගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත්කර අක්මාවේ තැන්පත් කරයි. තවත් වැඩිපුර ඇති ග්ලූකෝස් මේදය බවට පත්කර මේද පටකවල තැන්පත් කරයි.
රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා අඩු වූ විට (නිරාහාරව සිටි අවස්ථාවල) ලැන්ගර්හෑන්දීපිකාවල වූ ඇල්ෆා සෛල මගින් ග්ලූකගොන් ස්‍රාවය කරයි. මෙම ග්ලූකගොන් අක්මාව මත ක්‍රියාකර සංචිත ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත්කර රුධිරයට ලබාදෙයි. මෙයට අමතරව සංචිත මේදය ද ග්ලූකෝස් බවට පත්කර රුධිරයට ලබා දී රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට ගෙන එයි.
ඉන්සියුලින් හා ග්ලූකගොන් යන හෝර්මෝනවල ක්‍රියාකාරීත්වය යටතේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය වේ. ඉන්සියුලින් ස්‍රාවය නොවීම හෝ උපතේ දී බීටා සෛල නොපිහිටීම නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වී දියවැඩියාව ඇති වේ.

මිනිසාගේ දේහ උෂ්ණත්ව යාමනය

මිනිසා අචලතාපි සත්ත්වයෙකි. බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුවද නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගත හැකිවීම අචලතාපි ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් මිනිසාගේ දේහ උෂ්ණත්වය 37 0C ක්‍ ක් පමණ වුවද 36 0C – 37.5 0C අතර විචලනය විය හැකි ය.
මිනිසාගේ දේහ උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානය මොළයේ පිහිටි හයිපොතැලමසයි.
බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වූ විට දේහ උෂ්ණත්වය අඩු වීම වළක්වා ගැනීමට හයිපොතැලමස උත්තේජනය වී පහත දැක්වෙන ක්‍රියාවලි සිදු කරයි.
● සමේ රුධිර කේශනාලිකා සංකෝචනය කිරීම. එමගින් සමට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීමෙන් තාප හානිය වැළකේ.
● ස්වේද ග්‍රන්ථි තුළ දහදිය නිපදවීම අඩු කිරීම. එමගින් තාප හානිය අඩු වේ.
● සමේ රෝම උද්ගාමනය වී සම මතුපිට තාප පරිවාරක ස්තරයක් ඇති වීමෙන් තාප හානිය වැළකේ.
● වෙවිලීම මගින් ද තාපය නිපදවා ගනී.
බාහිර පරිසරයේ උෂ්ණත්වය වැඩි වූ විට දේහ උෂ්ණත්වය වැඩි වීම වළක්වා ගැනීමට හයිපොතැලමස උත්තේජනය වීමෙන් පහත ක්‍රියාවලි සිදු වේ.
● සමේ කේශනාලිකා විස්තාරණය කිරීම මගින් සමට සපයන රුධිර ප්‍රමාණය වැඩි කරයි. එවිට රුධිරය මගින් අභ්‍යන්තර තාපය මතුපිටට ගෙන ඒම වැඩි කරයි. එවිට සිදුවන තාප හානිය වැඩි වේ.
● ස්වේද ග්‍රන්ථි උත්තේජනය මගින් දහදිය නිපදවීම වැඩි වේ. දහදිය වාෂ්ප වීමේ දී දේහයෙන් තාපය ලබා ගන්නා නිසා තාප හානිය වැඩි වී සිරුර සිසිල් වේ.
උෂ්ණත්වය වැඩි වූ විට හා උෂ්ණත්වය අඩු වූ විට දී දේහ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටම පවත්වා ගැනීම හයිපොතැලමස මගින් සිදුකරයි.

ජල තුල්‍යතාව යාමනය

රුධිරයේ පවතින ජල ප්‍රමාණය අඩු වූ විට පිටියුටරිය මගින් ADH (ප්‍රතිමෞත්‍රල්‍යය හෝර්මෝනය) ස්‍රාවය වේ. එම ADH වෘක්ක මත ක්‍රියාකර වෘක්කවල දී ජල ප්‍රතිශෝෂණය වැඩි කරයි. ඒ අනුව මූත්‍ර සමග බැහැර වන ජල ප්‍රමාණය අඩු කරයි.
දේහයේ පවතින ජල ප්‍රමාණය වැඩි වූ විට ADH ස්‍රාවය වීම අඩු වීමෙන් වෘක්කවලදී ජල ප්‍රතිශෝෂණය අඩු වී මූත්‍ර සමග බැහැර වන ජල ප්‍රමාණය වැඩි කරයි.
මේ ආකාරයට දේහයේ ජල තුල්‍යතාව යාමනය කරයි.