ජීවී පටක

ජීවී දේහයක අඩංගු වන, නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ.

ශාක පටක වර්ගීකරණය

ශාක අවයව තුළ විවිධ ශාක පටක සංවිධානය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීම.

වැඩෙන මුලක වර්ධනය වන ප්‍රදේශය මෘදු හා ලා පැහැති වර්ණයකින් යුතු බවත් පරිණත කොටස තද පැහැති, දැඩි බවකින් යුක්ත බවත් පෙනේ.
මෙයට හේතුව එහි අඩංගු පටකවල ස්වභාවයයි.

-මුලක දික්කඩක අණ්වීක්ෂීය පෙනුම-

විභාජක පටක(Meristematic tissues)

සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වන, නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛලවලින් සෑදෙන ශාක පටක විභාජක පටක ලෙස හැඳින්වේ.

මෙම සෛල විභේදනයට ලක් නො වූ සෛල වේ.
ශාකවල වර්ධනය සිදුවන්නේ විභාජක පටකවල ක්‍රියාකාරිත්වය නිසා ය.

විභාජක පටකවල ලක්ෂණ

සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ.
අන්තර් සෛලීය අවකාශ රහිත වේ.
සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි ඇත.
විශාල මධ්‍ය රික්තකයක් නැත.
කුඩා රික්තක තිබිය හැකි ය.
හරිතලව නැත.
මයිටොකොන්ඩි්‍රයා විශාල සංඛ්‍යාවක් ඇත.

මෙම විභාජක පටක ශාකයේ විශේෂිත ස්ථානවල ස්ථානගත වී පවතීි.
    ඒවා වර්ග තුනකි.

අග්‍රස්ථ විභාජක (Apical meristems)

ශාක කඳේ සහ මූල අග්‍රස්ථයේත් කක්ෂීය අංකුරවලත් පවතීි.
මෙම අග්‍රස්ථ විභාජක පටකවල ක්‍රියාකාරිත්වය නිසා ශාකය උසින් වැඩි වේ.

අන්තරස්ථ විභාජක (Intercalary meristems)

කඳේ පර්ව පාදවල පිහිටයි.
අන්තරස්ථ විභාජක පටකවල ක්‍රියාකාරිත්වය නිසා පර්වවල දිග වැඩිවේ.
තෘණ කුලයේ ශාකවල අන්තරස්ථ විභාජක බහුලව දක්නට ලැබේ.

පාර්ශ්වික විභාජක (Lateral meristems)

ශාක කඳේ හා මුලේ පාර්ශ්විකව පිහිටා ඇත.
ශාකයේ දික් අක්ෂයට සමාන්තරව පිහිටයි.
පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා කඳේ මහත වැඩි වේ.
ද්වීබීජපත්‍රී ශාකවල හමු වන කැම්බියම පටකය පාර්ශවික විභාජක පටකයකි.