දේශීය නර්තනයේ රන් සලකුණ

දේශනයකට සාවධානව සවන් දීම දේශකයාට ගෞරව කිරීමකි. මනාව සවන් දීම දේශනයක ඇතුළත් කරුණු අවබෝධ කර ගැනීමේ මග යි. අවධානය රඳවා ගෙන ශ්‍රවණය කිරීම මගින් ස්මරණ ශක්තිය දියුණු වෙයි. සවන් නො දී ඒ පිළිබඳ කතා කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම හෝ කළ නොහැකි ය. භාෂා ශක්‍යතාවන් වර්ධනය කර ගැනීමට නම් මුලින් ම කළ යුත්තේ හොඳින් සවන් දීම යි. ඉන් පසු කථනය සඳහා මග පෑදෙයි. ආචාර්ය එස්. පණීභාරත නම් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවා ගැන මෙම පාඩමෙහි ඇතුළත් තොරතුරු අසන්නට සැලැස්වීම හා එතුමා ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ඔබ පෙලඹවීම මේ පාඩමේ අරමුණ යි.

දිනය : 2017 පෙබරවාරි 24
ස්ථානය : කෑගල්ල, අල්ගමිනෘත්‍ය’ කලායතනය
අවස්ථාව : ජාතික නර්තන දිනය වෙනුවෙන් පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය
දේශනය : සම්මානනීය නර්තන ශිල්පී, කලාසූරී ජගත් විමලසුරේන්ද්‍ර මහතා

ගෞරවාර්හ ස්වාමීන් වහන්ස, ගරු පූජකවරුනි, සම්භාවනීය අමුත්තනි, ‘නෘත්‍ය’ කලායතනයේ අධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මියනි, දෙමවුපියනි, දූ දරුවනි, ඔබ සියලු දෙනාගෙන් ම අවසර යි.

අද අපට විශේෂ දවසක්. ඒ මෙම කලායතනයේ දක්ෂ දරුවන්ට සම්මාන ලැබීමත්, මේ ප්‍රදේශයෙන් ලෝකයට දායාද කළ පුත්‍ර රත්නයක ජන්ම දිනය අදට යෙදී තිබීමත් යන කරුණු දෙක ම නිස යි. එතුමාගේ සෙවණෙහි ගුරුහරුකම් ලැබීමට වාසනාව මටත් උදා වුණු නිසා මමත් නර්තන කලාවට යම් සේවයක් කිරීමට ශක්තිය ලැබුවා. එතුමාගේ ගුණ ගයන්නට, එතුමා ගැන ඔබට කියන්නට අවස්ථාව උදා කර දීම පිළිබඳව මෙහි උත්සව කමිටුවට මාගේ ප්‍රණාමය පිරිනමන්න කැමති යි.