අන්වීක්ෂ භාවිතය

ඈත අතීතයේ සිට ම කුඩා දේවල් විශාල කර බලා ගැනීම සඳහා විවිධ අයුරින් උත්සාහ දරා ඇති අතර ඒ සඳහා විවිධ උපකරණ නිර්මාණය කර භාවිත කර ඇත.
නිවසේ දී පහසුවෙන් සපයාගත හැකි උපකරණ හෝ ද්‍රව්‍ය ආධාර කර ගනිමින් පහත ක්‍රියාකාරකමෙහි නියැළෙන්න.

එම කුඩා අකුරු විශාල වී පෙනෙන බව ඔබට අවබෝධ වන්නට ඇත.
ජලය තිබීම හැරුණු විට ඉහත ක්‍රියාකාරකම සඳහා යොදා ගත් උපකරණවල පොදු ලක්ෂණයක් ඔබට හඳුනා ගත හැකි වූවා ද?

පිටතට නෙරා ගිය කවාකාර පෘෂ්ඨීය ස්වභාවය ඉහත උපකරණවල පොදු ලක්ෂණයක් ලෙස ඔබට හඳුනා ගත හැකි වනු ඇත. මෙසේ කවාකාර මතුපිටක් සහිත පෘෂ්ඨවලින් කුඩා දේ විශාල කර බැලීමට යොදාගත හැකි බව ඔබට වැටහී යනු ඇත. පාසල් විද්‍යාගාරයේ මෙවැනි ලක්ෂණ සහිත උපකරණයක් ලෙස උත්තල කාචය හඳුනා ගත හැකි ය.

සරල අණ්වීක්ෂය

උත්තල කාචයකට රාමුවක් සහිත මිටක් සවි කිරීමෙන් අත් කාචය හෙවත් සරල අණ්වීක්ෂය නිපදවා ඇත.

එහි දී අකුරු හා අත් කාචය අතර පරතරය වැඩිවත්ම අකුරු ක්‍රමයෙන් විශාල වේ. එක්තරා සීමාවක දී එය උපරිමයකට ළඟාවේ. දුර තවත් වැඩි කිරීමේ දී අකුරු අපැහැදිලි වන බව ඔබට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
මේ අනුව අත් කාචයකින් වස්තුවක් නිරීක්ෂණය කිරීමේ දී කාචයත් වස්තුවත් අතර නියත දුරක් තිබිය යුතු බව ඔබට වැටහෙනු ඇත.

අණ්වීක්ෂයක විශාලනය හා විභේදන බලය

විශාලනය

ඉහත 10.1 හා 10.2 ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අකුරු කිහිප ගුණයකින් විශාල වී ඔබට පෙනෙන්නට ඇත. කිසියම් නිදර්ශකයක් විශාල වී පෙනෙන වාර ගණන විශාලනය හෙවත් විශාලන බලය ලෙස හැඳින්වීමට හැකි ය.

විභේදනය

යම්කිසි අනුයාත (එක ළඟ පිහිටි) ලක්ෂ්‍ය දෙකක් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට එම ලක්ෂ්‍ය දෙක අතර තිබිය යුතු අවම දුර විභේදනය ලෙස හැඳින්වේ.
එක ළඟ පිහිටි ලක්ෂ්‍ය දෙකක් පියවි ඇසින් බලා වෙන්කර හඳුනා ගැනීමට අවම වශයෙන් එම ලක්ෂ්‍ය දෙක අතර පරතරය 0.1 mm ක් පමණ විය යුතු ය. එනම් පියවි ඇසේ විභේදනය 0.1 mm පමණ වන බව ඔබට වැටහෙනු ඇති.

අත් කාචයෙන් නිරීක්ෂණය කිරීමේ දී අදාළ රූපය කුඩා තිත් රාශියකින් සෑදී ඇති බවත් පියවි ඇසට වඩා අත් කාචයෙන් නිරීක්ෂණයේ දී එය වඩාත් හොඳින් පැහැදිලි වන බවත් ඔබට අවබෝධ වනු ඇත. මෙයින් පෙනී යන්නේ පියවි ඇසේ විභේදන හැකියාවට වඩා අත් කාචයේ විභේදන හැකියාව වැඩි බවයි.

ලක්ෂ්‍ය දෙක අතර පරතරය වැඩියෙන් තිබෙන සේ නිරීක්ෂණය වූයේත් විශාලනය උපරිම වූයේත් අත් කාච දෙකක් යොදාගත් විට දී බව ඔබට පැහැදිලි වන්නට ඇත.

මේ අනුව වැඩි විශාලනයක් හා වැඩි විභේදන හැකියාවක් ලබා ගැනීම සඳහා අත් කාච දෙකක් එනම් උත්තල කාච දෙකක් යොදාගත යුතු බව ඔබට වැටහෙන්නට ඇත.

විශාලන බලයන්ගෙන් වැඩි උත්තල කාච දෙකක් යොදා ගනිමින් සංයුක්ත ආලෝක අණ්වීක්ෂය නිපදවා ඇත.