අප ජීවත්වන පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතරින් සූර්යයාගේ සිට තුන්වන ග්‍රහලෝකය යි.
සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හා සසඳන විට, පෘථිවියේ මතුපිට කඳු, ගංගා, මුහුදු, ගස් වැල්, වනාන්තර ආදිය පිහිටන බැවින් ඉතා අලංකාර ය. ජීවීන්ට ජීවත්වීමට සුදුසු පරිසර තත්ත්ව පෘථිවිය මත පවතින බැවින් පෘථිවියෙහි ජීවය පවතියි. එහෙත් මෙවැනි පරිසර තත්ත්ව අනෙකුත් ග්‍රහලෝකවල දැනට සොයාගෙන නොමැති බැවින් ඒවායේ ජීවය නැතැයි සැලකේ.
පෘථිවියේ ඇතුළත ස්වභාවය කෙබඳු ද?
පෘථිවියේ ඇතුළත ස්වභාවය පිළිබඳව භූ විද්‍යාඥයෝ විවිධ ක්‍රම ඔස්සේ තොරතුරු ලබා ගනිති.
ගිනිකඳු පිපිරීම්වල දී පෘථිවිය අභ්‍යන්තරයේ ඇති පාෂාණ වර්ග පොළොව මතුපිටට පැමිණෙයි. ඒවා පරීක්ෂා කිරීමෙන් පෘථිවියේ ඇතුළත පිළිබඳව තොරතුරු ලබා ගත හැකි වේ.
භූ විද්‍යාඥයන්ට, පෘථිවියේ ඇතුළත පිළිබඳව වැඩියෙන් ම තොරතුරු ලැබෙන්නේ භූ කම්පන පිළිබඳ ව අධ්‍යයනය කිරීමෙනි. භූ කම්පනයක දී පෘථිවිය ඇතුළත පිහිටි විශාල පාෂාණ චලනය වීමක් සිදු වේ. මෙම චලන නිසා භූ කම්පන තරංග හට ගනී. මෙම තරංග, පෘථිවියේ විවිධ ස්තර හරහා ගමන් කර පෘථිවිය මතුපිටට ළඟා වෙයි.
පෘථිවියේ විවිධ ස්ථානවල භූ කම්පනමාන පිහිටුවා ඇත. මේවා මගින් ස්වයංක්‍රීය ව භූ කම්පන තරංග සටහන් කරනු ලැබේ. (ශ්‍රී ලංකාවේ පල්ලෙකැලේ ප්‍රදේශයේ භූ කම්පනමානයක් පිහිටුවා ඇත.) පෘථිවියේ විවිධ ස්තර හරහා භූ කම්පන තරංග ගමන් කරන වේග වෙනස් ය. එම වේග මැනීමෙන් පෘථිවියේ අභ්‍යන්තර ස්තරවල ස්වභාවය පිළිබඳ ව තොරතුරු ලබා ගත හැකි ය.
එම තොරතුරු ඇසුරෙන් පෘථිවියේ අභ්‍යන්තරය එකිනෙකට වෙනස් ස්තර කිහිපයකින් යුක්ත බව සොයා ගෙන ඇත.