ජෛව ක්‍රියාවලි

ජීවයේ සංවිධාන මට්ටම්

ගඩොල් බිත්තියක් සාදා තිබෙන්නේ ගඩොල් කැට රාශියක් එකට බැඳීමෙනි. එමෙන් ම මී වදයක් සෑදී තිබෙන්නේ ද කුඩා ෂඩාස්‍රාකාර ඒකක රාශියකිනි.

ජීවී දේහ සෑදී තිබෙන්නේ ද මෙවැනි කුඩා තැනුම් ඒකක රාශියක් එකතු වීමෙනි. එම තැනුම් ඒකකය සෛලය ලෙස හැඳින්වේ. එනම් ජීවයේ ව්‍යුහමය ඒකකය සෛලයයි.

ඒ අනුව සත්ත්ව දේහයේ ව්‍යුහමය ඒකකය සත්ත්ව සෛලය ලෙසත් ශාක දේහයේ ව්‍යුහමය ඒකකය ශාක සෛලය ලෙසත් හැදින්වේ.

මීට පෙර පාඩමක දී සත්ත්ව සෛල හා ශාක සෛල නිරීක්ෂණය කළ අයුරු ඔබට මතක ඇත.

ඇතැම් ජීවීන්ගේ දේහය තනි සෛලයකින් යුක්ත වේ. එබැවින් දේහ ක්‍රියාකාරිත්වය සරල ය. මේ අනුව ජීවයේ සරලතම කෘත්‍යමය ඒකකය සෛලය ලෙස හැඳින්විය හැකි ය.

ඒක සෛලික ජීවීන් කිහිපදෙනකුගේ රූප පහත දක්වා ඇත.

ජීවී දේහයේ සංවිධාන මට්ටම්

ඒක සෛලික ජීවීන් හැරුණු විට අනෙක් සියලු ජීවීන් නිර්මාණය වී ඇත්තේ සෛල කිහිපයක් හෝ විශාල සංඛ්‍යාවක් ඒකරාශි වීමෙනි. ඔවුන් බහු සෛලික ජීවීන් ලෙස හඳුන්වනු ලැබේ. වඩාත් සරල මට්ටම වන සෛලයේ සිට සංකීර්ණ මට්ටම වන ජීවියා දක්වා වන සංවිධාන මට්ටම් පහත දැක්වේ.

ඉහත දැක්වූ එක් එක් සංවිධාන මට්ටම පිළිබඳ ව මෙම පරිච්ඡේදයේ දී සාකච්ඡා කෙරේ.

සෛලය

සෛලය, ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය ලෙස හැඳින්විය හැකි ය. එනම් ජීවයේ තැනුම් ඒකකය සෛලය වන අතර ක්‍රියාකාරිත්වයේ සරලතම ඒකකය ද සෛලය වේ.