වායුගෝලය

වායුගෝලයේ ස්තර

එළිමහනට ගොස් අහස දෙස බලන්න. දවල් කාලයේ දී ඔබට වලාකුළු සහිත හෝ වලාකුළු රහිත නිල්වන් අහස පෙනෙනු ඇත. රාත්‍රී කාලයේ දී තාරකා ද, ග්‍රහලෝක ද ඇතැම් විට චන්ද්‍රයා ද පෙනෙනු ඇත. මේ සියල්ල ඔබ දුටුවේ වායුගෝලය තුළිනි. එහෙත් වායුගෝලය ඔබට පෙනෙන්නේ නැත. වායුගෝලය යනු පෘථිවිය වටා ගෝලාකාර ව විහිදී පවතින වායු වැස්ම යි. එය පොළොව මට්ටමේ සිට 700 km පමණ ඈතට විහිදී පවතී.

වායුවකට බරක් ඇති බව ඔබ 6 ශ්‍රේණියේ දී අධ්‍යයනය කර ඇත. අප සිටින ස්ථානයට ඉහළින් ඇති වාතයේ බර නිසා ශරීරය මත ද අවට ඇති සියලු දේ මත ද පීඩනයක් ක්‍රියා කරයි. මෙම පීඩනය වායු පීඩනය නම් වේ. කාලගුණය පිළිබඳ කටයුතුවල දී වායු පීඩනය මිලිබාර් (mb) නම් ඒකකයෙන් මනිනු ලැබේ.

යම් ස්ථානයකට මුහුදු මට්ටමේ සිට ඇති උස හඳුන්වනුයේ උන්නතාංශය යනුවෙනි. උන්නතාංශය අනුව වායුගෝලයේ විවිධ මට්ටම්වල උෂ්ණත්වය ද පීඩනය ද වෙනස් වේ. මෙම වෙනස්කම් පදනම් කොටගෙන වායුගෝලය ප්‍රධාන ස්තර පහකට බෙදා ඇත. මෙම ස්තරවල මායිම් නිශ්චිතව කිව නොහැකි ය. පොළොව මට්ටමේ සිට ඉහළට එම ස්තර පිළිවෙළින් මෙසේ ය.

පරිවර්තී ගෝලය

පෘථිවි වායුගෝලයේ පහළ ම ස්තරය වනුයේ පරිවර්තී ගෝලයයි. පෘථිවි සමකය ආසන්නයේ දී මුහුදු මට්ටමේ සිට 15 km පමණ උසකට විහිදී පවතී. නමුත් ධ්‍රැවාසන්න පෙදෙස්වල දී පරිවර්තී ගෝලයේ උස 8 km පමණ වේ.
වායුගෝලයට අයත් මුළු වායු ප්‍රමාණයෙන් 75% ක් පමණ ඇත්තේ පරිවර්තී ගෝලයේ ය. එමෙන් ම වායුගෝලයේ ඇති ජලවාෂ්ප හා දූවිලි අංශුවලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ද මෙම ප්‍රදේශයේ ය. කාලගුණ විපර්යාස සියල්ල ම සිදු වන්නේ ද පරිවර්තී ගෝලය තුළ ය.

හෙලිකොප්ටර්, පැරෂුට් හා සාමාන්‍ය ගුවන් යානා ආදිය ගමන් කරන්නේ ද මෙම ස්තරය තුළ ය.

ස්තර ගෝලය

මුහුදු මට්ටමේ සිට 15 km පමණ සිට 50 km පමණ ඉහළට ස්තර ගෝලය පිහිටා ඇත. මෙහි ජලවාෂ්ප ඇත්තේ ඉතා සුළු වශයෙන් නිසා වාතය වියළි ස්වභාවයක් ගනී. ස්තර ගෝලයේ වලාකුළු නොමැත. එමෙන් ම කුණාටු හෝ වායු කැළඹීම් නැත. එම නිසා ජෙට් යානා මෙම ස්තරය තුළ ගමන් කරයි. ස්තර ගෝලය තුළ ඕසෝන් වියන හෙවත් ඕසෝන් ස්තරය පිහිටා ඇත.

සූර්යයාගේ සිට හානිකර විකිරණ පෘථිවිය මතට පැමිණීම ඕසෝන් ස්තරය මගින් වළක්වයි.
කැටි වැහි වලාකුළුවල මුදුන පැතලි වී කිණිහිරයක හැඩය ගන්නේ ස්තර ගෝලයට ළඟා වූ විට දී ය. එසේ වන්නේ ස්තර ගෝලයේ දී එක් දිශාවකට හමන සුළං ඇති නිසා ය. බොහෝ විට මෙවැනි වලාකුළු ඇති වීමත් සමඟ අකුණු ගෙරවිලි සහිත වර්ෂාවක් අපේක්ෂා කළ හැකි ය.

මධ්‍ය ගෝලය

මුහුදු මට්ටමෙන් 50 km පමණ සිට 80 km පමණ දක්වා ඉහළට පිහිටා ඇත්තේ මධ්‍ය ගෝලය යි. වායුගෝලයේ ඇති ස්තරවලින් සිසිල් ම ස්තරය මෙය වේ. මෙහි දී ජල වාෂ්ප, අයිස් වලාකුළු ලෙස මිදෙයි. හිරු බැස ගිය විට මෙම වලාකුළුවලට හිරු එළිය වැදෙයි. එබැවින් රාත්‍රී අහසේ මෙම වලාකුළු දැකගත හැකි වේ.