භාග හැඳින්වීම

අක්කාත් මල්ලීත් අතර පේර ගෙඩියක් සමාන ව කොටස් දෙකකට බෙදා ගත් ආකාරය පහත රූපයෙන් දැක්වේ.

තුන් දෙනකු අතරේ කේක් ගෙඩියක් සමාන ව කොටස් තුනකට බෙදා ගත් ආකාරය පහත රූපයෙන් දැක්වේ.

මෙලෙස සම්පූර්ණ එකක්, නැතහොත් ඒකකයක්, සමාන ව කොටස්වලට බෙදීමට සිදු වන අවස්ථා බොහෝ වෙයි.

ඉහත පළමු අවස්ථාවේ දී, මුළු පේර ගෙඩියෙන් එක් අයකුට ලැබුණේ, බෙදූ සමාන කොටස් දෙකෙන් එකකි. පේර ගෙඩිය 1ක් ලෙස සංඛ්‍යාත්මක ව දැක්වූ විට, එක් අයකුට ලැබුණු ප්‍රමාණය, සංඛ්‍යාත්මක ව දක්වන්නේ $$\frac12$$ ලෙසිනි. මෙය කියවන්නේ “දෙකෙන් එක” ලෙසිනි.

ඉහත දෙවන අවස්ථාවේ දී, කේක් ගෙඩියෙන් එක් අයකුට ලැබුණු කොටස, බෙදූ සමාන කොටස් තුනෙන් එකකි. කේක් ගෙඩිය 1ක් ලෙස ගත් විට, එක් අයකුට ලැබුණු ප්‍රමාණය, $$\frac13$$ ලෙස සංඛ්‍යාත්මක ව දැක්වේ. මෙය කියවන්නේ “තුනෙන් එක” ලෙසිනි.

ඒකකයකින් දැක්වෙන ප්‍රමාණය සංඛ්‍යාත්මක ව 1ක් ලෙස ගනිමු. එම ප්‍රමාණය සමාන කොටස්වලට බෙදා ලැබෙන කොටස් එකකින් හෝ කිහිපයකින් හෝ දැක්වෙන ප්‍රමාණය සංඛ්‍යාත්මක ව දක්වන ආකාරය අපි විමසා බැලුවෙමු. මේ ආකාරයට දක්වන, එකට වඩා කුඩා බින්දුවට වඩා විශාල සංඛ්‍යා තත්‍ය භාග හෙවත් නියම භාග ලෙස හැඳින්වේ.