අවුරුද්දේ අවසාන පොහොය උඳුවප් පුර පසළොස්වක ය. ශ්‍රී ලාංකික බෞද්ධයිනට පොසොන් පොහොය තරමට ම මෙම උඳුවප් පොහොය ද ශාසනික වශයෙන් ප්‍රධාන කරුණු දෙකක් නිසා වැදගත් වෙයි.
★ සංඝමිත්තා තෙරණියගේ වැඩමවීම නිසා මෙරට භික්ෂුණී ශාසනය ඇති වීම
★ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම නිසා මෙරට සංස්කෘතික පරිවර්තනයක් ඇති වීම
මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බණ ඇසූ අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සීයක් දෙනා තමන්ට ද පැවිදි වීමට අවශ්‍ය බව රජුට දැන්වූහ. රජු ද මේ පිරිස පැවිදි කරවන ලෙසට මිහිඳු මහ රහතන් වහන්සේගෙන් කාරුණික ව ඉල්ලීම් කර ඇත. මිහිඳු හිමිපාණෝ තමන්ට ස්ත්‍රීන් පැවිදි කිරීම කළ නොහැකි බව දන්වමින් පැළලුප් නුවර වැඩවසන තම නැඟණිය වූ සංඝමිත්තා තෙරණියත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් වැඩම කරවීමට කටයුතු කරන ලෙස රජුට දැන්වූහ. රජ තෙමේ තම බෑණා වූ අරිට්ඨ කුමරුන් ඇතුළු දූත කණ්ඩායමක් සඟමිත් තෙරණිය ඇතුළු පිරිස වැඩම කරවීම සඳහා ධර්මාශෝක රජතුමා වෙතට යවන ලදි.