කුලක හැඳින්වීම

වෙළෙන්දෙක් ළඟ විකිණීමට තිබෙන එළවළු වර්ග රූපයෙන් දැක්වේ. මෙම වෙළෙන්දා ළඟ විකිණීමට තිබෙන එළවළු වර්ග වන්නේ කැරට්, බෝංචි, වට්ටක්කා සහ බණ්ඩක්කා පමණි. මේ අනුව යම්කිසි එළවළු වර්ගයක් ඔහු ළඟ විකිණීමට තිබේ ද හෝ නැද්ද හෝ යන්න අපට නිශ්චිත ව ම කිව හැකි ය.
ඉහත දක්වා ඇත්තේ ද්‍රව්‍ය වර්ග කිහිපයක එකතුවකට උදාහරණයකි. එවැනි එකතුවක් සමූහයක් ලෙස හැඳින්වේ. සමූහයක ඇති දෑ පිළිබඳ ව යම් යම් අධ්‍යයනයන් කිරීමට අපට එදිනෙදා ජීවිතයේ දී සිදු වේ.

පහත දැක්වෙන සමූහ සලකමු.
● ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක
● 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා
● ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර
● 2014 වන විට හඳුනා ගත් ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුලු වර්ග
● 2014 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවෝ
මෙම එක් එක් සමූහයට අයිති දෑ නිශ්චිත ව ම හඳුනාගත හැකි ය.

මෙලෙස නිශ්චිත ව ම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් යනුවෙන් හඳුන්වනු ලැබේ.

විවිධ ආකාරයේ දෑ කුලකයකට අයත් විය හැකි ය. ඒ අනුව සංඛ්‍යා, භෞතික වස්තු, ජීවීන් මෙන් ම සංකේත ද කුලකයකට අයත් විය හැකි ය.