පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

එකතු කිරීම, ගුණ කිරීම, අඩු කිරීම සහ බෙදීම යන ගණිත කර්ම සඳහා පිළිවෙළින් ‘+’,’x’, ‘-‘ සහ ‘÷’ යන සංකේත යොදා ගන්නා බව ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇත.

පූර්ණ සංඛ්‍යා දෙකක් එකතු කිරීම සහ ගුණ කිරීම ද එක් පූර්ණ සංඛ්‍යාවකින් තවත් පූර්ණ සංඛ්‍යාවක් අඩු කිරීම ද එක් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම ද ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇත.

මෙම අවස්ථාවල පූර්ණ සංඛ්‍යා දෙකක් අතර එක් ගණිත කර්මයක් එක් වාරයක් පමණක් යෙදී තිබිණි.

සංඛ්‍යාත්මක ප්‍රකාශනයක ගණිත කර්ම යෙදී ඇති පිළිවෙළ

3 + 7 × 5 යන ප්‍රකාශනය සලකා බලමු.
එම ප්‍රකාශනය පූර්ණ සංඛ්‍යා තුනකින් ද ගණිත කර්ම දෙකකින් ද සමන්විත සංඛ්‍යාත්මක ප්‍රකාශනයකි.
+ සහ x එහි ගණිත කර්ම ලෙස හැඳින්වේ.

මෙහි ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙළ + සහ x වේ.
නිදසුනක් ලෙස 15 ÷ 3 – 2 සංඛ්‍යාත්මක ප්‍රකාශනය සැලකූ විට, එහි ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙළ ÷ සහ – වේ.