පදාර්ථයේ ස්වභාවය හැඳින්වීම

  • නිශ්චිත ගුණ දරන සංඝටක එකක් පමණක් අඩංගු වන පදාර්ථ සංශුද්ධ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ.
  • ඒ අනුව ඇලුමිනියම්, රිදී, තඹ, ආසුත ජලය, කාබන්, සල්ෆර්, සින්ක්, කොපර් සල්ෆේට් හා සෝඩියම් ක්ලෝරයිඩ් සංශුද්ධ ද්‍රව්‍ය ගණයට අයත් වේ.
  • සංශුද්ධ සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් අන්තර්ගත පදාර්ථ මිශ්‍රණ ලෙස හැඳින්වේ.
  • ඒ අනුව වාතය, පානීය ජලය සහ ලුණු ද්‍රාවණය මිශ්‍රණ ලෙස දැක්විය හැකි ය.
  • භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණ ඇති ද්‍රව්‍යවලට තව දුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණ දරන සංශුද්ධ ද්‍රව්‍ය මූලද්‍රව්‍ය ලෙස හැඳින්වේ.
  • ඒ අනුව යකඩ, සල්ෆර්, ක්ලෝරීන්, රිදී, සින්ක්, තඹ මූලද්‍රව්‍ය යටතට අයත් වේ. දැනට මූලද්‍රව්‍ය 120ක් පමණ අනාවරණය කරගෙන ඇත.
  • මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට රසායනික ව සංයෝජනය වී සැකසුණු නිශ්චිත ගුණ දරන සංශුද්ධ ද්‍රව්‍ය සංයෝග ලෙස හැඳින්වේ.
  • ඒ අනුව සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට් හා ග්ලූකෝස් සංයෝග ඝනයට අයත් ය. විවිධ මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් සංයෝජනය වී සකස් වුණු සංයෝග අතිවිශාල ගණනක් ස්වභාවයේ පවතී.

මූලද්‍රව්‍ය සඳහා සංකේත

සන්නිවේදනයේ පහසුව සඳහා විවිධ අවස්ථාවල දී විවිධ සංකේත භාවිත කරන බව අපි දනිමු. මූලද්‍රව්‍ය හැඳින්වීම සඳහා ද සංකේත භාවිත කෙරේ. අන්තර්ජාතික වශයෙන් පිළිගත් මෙම සංකේත ලෝකයේ සෑම රටක ම මූලද්‍රව්‍ය හැඳින්වීම සඳහා භාවිත කෙරේ. බොහෝ විට මූලද්‍රව්‍යයේ ඉංග්‍රීසි නම මෙම සංකේත සඳහා පදනම් කරගනු ලැබේ. මෙහි දී මූලද්‍රව්‍යයේ නමෙහි මුල් අකුර සංකේත ලෙස යොදා ගනියි. තනි අකුරක් සංකේතය ලෙස යෙදෙන අවස්ථාවල එය අනිවාර්යයෙන් ම කැපිටල් අකුරක් (Capital letter) විය යුතු ය. නිදසුන් කිහිපයක් 3.1 වගුවේ දැක්වේ.

මූලද්‍රව්‍ය කිහිපයක නම් එක ම අකුරකින් ඇරඹෙන විට නමෙහි ඊළඟ අකුර හෝ වෙනත් අකුරක් යොදා ගනු ලැබේ. මෙවැනි අවස්ථාවක දෙවන අකුර අනිවාර්යයෙන් ම සිම්පල් අකුරක් (Simple letter) විය යුතු ය. නිදසුන් කිහිපයක් 3.2 වගුවේ දැක්වේ.

සමහර මූලද්‍රව්‍ය සඳහා සංකේත යොදාගෙන ඇත්තේ ඒවායේ ලතින් නම ඇසුරිනි. ඒ සඳහා නිදසුන් කිහිපයක් 3.3 වගුවේ දැක්වේ.

මූලද්‍රව්‍ය කිහිපයක නාම හා ඒවායේ සංකේත 3.4 වගුවේ දැක්වේ.