සදිශ සංඛ්‍යා

නගරයකට ජලය බෙදා හරින ජලාශයක ජල මට්ටම බලා ගැනීම සඳහා සකස් කර ඇති දර්ශකයක් මෙහි දැක්වේ. එම මාපකය එහි සාමාන්‍ය ජල මට්ටම “0” (බින්දුව) ලෙස ලකුණු කර, එම මට්ටමෙන් එනම්, 0 සීමාවෙන් ඉහළට සහ පහළට සමාන පරතර සිටින සේ එය ක්‍රමාංකනය කර ඇත.

එමගින් ජල මට්ටම, බින්දුවේ (සාමාන්‍ය මට්ටමේ) සිට ඉහළින් හෝ පහළින් පිහිටා ඇති දැයි නිරීක්ෂණය කළ හැකි වේ.

මෙහි දී එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ සරල රේඛාවක් ක්‍රමාංකනය කිරීමෙන් ජලාශයේ ජල මට්ටම ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි වේ.

පරිසර උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරනු ලබන උෂ්ණත්වමානවල ද 0 0C ට වඩා වැඩි උෂ්ණත්ව සහ 0 0Cට වඩා අඩු උෂ්ණත්ව දැක්වීමට 0 0C දක්වා ඇති ලකුණේ සිට දිශා දෙකක් ඔස්සේ ක්‍රමාංකනය කර ඇත. රූපයේ දැක්වෙන උෂ්ණත්වමානයේ 0 0Cට වඩා වැඩි උෂ්ණත්ව දැක්වීමට එක් දිශාවක් ඔස්සේ 10, 20, 30, … ලෙසත් 0 0C ට වඩා අඩු උෂ්ණත්ව දැක්වීමට අනෙක් දිශාව ඔස්සේ -10, -20, -30, … ලෙසත් ක්‍රමාංකනය කර තිබේ.

පහත දැක්වෙන සංඛ්‍යා රේඛාව සලකමු.

සංඛ්‍යා රේඛාවේ බින්දුව දැක්වෙන ස්ථානයේ සිට දකුණත් පසින් ලකුණු කර ඇති ධන පූර්ණ සංඛ්‍යා ධන නිඛිල ලෙස ද, බින්දුව දැක්වෙන ස්ථානයේ සිට වමත් පසින් ලකුණු කර ඇති ඍණ පූර්ණ සංඛ්‍යා ඍණ නිඛිල ලෙස ද හඳුන්වනු ලැබේ.

සියලු නිඛිලයන්ගෙන් යුත් කුලකය {…, −3, −2, −1, 0, 1, 2, 3, …} වේ.

යම් ලක්ෂ්‍යයක් මූලය ලෙස හඳුනා ගෙන, එය 0 ලෙස ලකුණු කර 0 සිට යම් දිශාවක් ඔස්සේ ධන සංඛ්‍යා ද එයට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ 0 සිට ඍණ සංඛ්‍යා ද ලකුණු කරනු ලැබේ.

මෙලෙස විශාලත්වය හා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා නිරූපණය කිරීමට ධන ලකුණක් සහිත ව හෝ ඍණ ලකුණක් සහිත ව හෝ ලියනු ලබන සියලු සංඛ්‍යා සදිශ සංඛ්‍යා යනුවෙන් හඳුන්වනු ලැබේ.
ඒ අනුව +4, +3/4, +5.7, -10, -1/2, සහ – 3.2 වැනි සංඛ්‍යා සදිශ සංඛ්‍යා වේ. +4 කියවනු ලබන්නේ “ධන හතර” ලෙසිනි. – 1/2 කියවනු ලබන්නේ
“ඍණ දෙකෙන් එක” ලෙසිනි.

සටහන
● සංඛ්‍යාවක් ඉදිරියෙන් සලකුණක් නොතිබෙන විට දී එය ධන සංඛ්‍යාවක් ලෙස සලකනු ලැබේ.