කඹ ඇදීමේ තරගයක දී කණ්ඩායම් දෙකක් කඹය දෙපසට අදිති. එක් පසක සිටින කණ්ඩායම යොදන බලය අනික් පසින් යොදන බලයට වඩා වැඩි වූ විට, වැඩි බලයේ දිශාවට කඹය ඇදී යයි. කණ්ඩායම් දෙක ම සමාන බල යොදා ඇදීම සිදු කරන අවස්ථාවේ දී කඹය එක් පසකටවත් නොඇදී නිශ්චලතාවයේ පවතින්නේ ය. ඊට හේතුව කඹය දෙපසට යොදන බල සමාන සහ ප්‍රතිවිරුද්ධ වීමය. එවිට බල වල එකතුව ශුන්‍ය ය. මේ අවස්ථාවේ දී දෙපසට, යොදන බල යටතේ කඹය සමතුලිතතාවේ පවතී යැ යි කියනු ලැබේ.
මෙවැනි තවත් අවස්ථාවක් 12.2 රූපයේ පෙන්වා ඇත. මෙහි ඇත්තේ දුනු තරාදියක එල්ලා ඇති වස්තුවකි.
මෙහි දී, වස්තුව මත බල දෙකක් ක්‍රියා කරයි. ඉන් එකක් වනුයේ ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන වස්තුවේ බරයි. අනෙක වනුයේ වස්තුව පොළොවට නොවැටී රඳවා ගැනීමට දුන්න මගින් ඉහළට යොදන බලයයි. මෙම බල දෙක යටතේ වස්තුව නිශ්චල ව පවතී. එනම් එම බල දෙක යටතේ වස්තුව සමතුලිතතාවේ පවතී.
සවිමත් තන්තුවකින් එල්ලා ඇති ගෝලයක් 12.3 රූපයේ පෙන්වා ඇත. ගෝලයේ බර ක්‍රියා කරන්නේ සිරස් ව පහළටයි. එම බර තන්තුව මගින් ඉහළට යොදන බලයෙන් (ඇදීමක් යටතේ ඇති තන්තුව දිගේ ක්‍රියාකරන බලයට තන්තුවේ ආතතිය යැයි කියයි)
සංතුලනය වන නිසා ගෝලය නිශ්චල ව පවතී. මෙහි දී ගෝලයේ බර (W) හා තන්තුව මගින් ඉහළට යොදන බලය (T) යටතේ ගෝලය සමතුලිතතාවේ පවතී.
එදිනෙදා ජීවිතයේ දී, වස්තූන් වෙත විවිධ බල යෙදෙන අවස්ථා නිතර ම අපට දකින්නට ලැබෙයි. එවැනි බල දෙකක්, තුනක් හෝ ඊට වැඩි ගණනක් යටතේ වුව ද වස්තූන් සමතුලිතතාවේ පැවතිය හැකි ය.
අප මෙහි දී බල දෙකක් හා තුනක් යටතේ වස්තුවක් සමතුලිත වන අවස්ථා වෙන වෙන ම සලකා බලනු ලැබේ.