ජෛව ලෝකය

ජීවීන් වර්ගීකරණය

පෘථිවිය මත ජීවයේ සම්භවය දැනට වසර බිලියන 3.6 කට පමණ පෙර සිදුවන්නට ඇතැයි සැලකේ. මුලින් ම සම්භවය වූ සරල ඒක සෛලික ජීවීන් ක්‍රමයෙන් පරිණාමය වී සංකීර්ණ බහු සෛලික ජීවීන් ඇති වූ බව පිළිගත් මතය යි. වර්තමානයේ පෘථිවිය මත ජීවී විශේෂ මිලියන 8.7 පමණ ජීවත් වේ යැයි සැලකේ. මෙම ජීවීන් අතර අති විශාල විවිධත්වයක් පවතී. මොවුන් යම්කිසි වර්ගීකරණයකට භාජනය කිරීම මගින් අධ්‍යයනය පහසුවන අතරම ජීවීන් සම්බන්ධ නොයෙක් කටයුතු සඳහා යොදාගැනීම ද පහසු වේ. විවිධ ගති ලක්ෂණ පදනම් කර ගනිමින්, විවිධ ආකාරයට ජීවීන් වර්ගීකරණය කළ හැකි බව ඔබට අවබෝධ වන්නට ඇත.

පොදු ගති ලක්ෂණවලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණය ලෙස හැඳින්වේ.

ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම

ජීවීන් වර්ගීකරණය මගින් ඔබට ප්‍රයෝජන රැසක් ලබාගත හැකි ය. එම ප්‍රයෝජන මොනවාදැයි විමසා බලමු.
🌎 ජීවීන් පිළිබඳව පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වීම.
🌎 නම් කරන ලද ජීවියකුගේ සුවිශේෂ අනන්‍යතා හඳුනා ගැනීම පහසු වීම.
🌎 සියලු ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කිහිපදෙනකු අධ්‍යයනය කිරීම මගින් සමස්ත ජෛවලෝකය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වීම.
🌎 වෙනස් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාව අනාවරණය කළ හැකි වීම.
🌎 මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඇති ජීවීන් හඳුනා ගැනීමට හැකි වීම.

ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම

ක්‍රි.පු. 4 වන සියවසේ දී පමණ ඇරිස්ටෝටල් විසින් ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණයක් මුල්වරට හදුන්වා දෙන ලදි. ක්‍රි.ව. 18 වන සියවසේ දී පමණ කැරොලස් ලීනියස් (Carolus Linnaeus) විසින් සාර්ථක වර්ගීකරණයක් හඳුන්වා දෙන ලදී. මිනිසා ඇතුළු පෘථිවිය මත සිටින සියලුම ජීවීන් වර්ගීකරණය කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරයි. එනම්,
● කෘත්‍රිම වර්ගීකරණය. (Artificial classification)
● ස්වාභාවික වර්ගීකරණය (Natural classification)

කෘත්‍රිම වර්ගීකරණය

කෘත්‍රිම වර්ගීකරණයක දී ජීවීන්ගේ බාහිර ලක්ෂණ, වාසස්ථාන වැනි දේ සලකා බැලෙන අතර ජීවීන්ගේ පරිණාමික බන්ධුතා එමගින් නිරූපණය නොවේ.
කෘත්‍රිම වර්ගීකරණ සඳහා නිදසුන් :-
ශාක- විසිතුරු ශාක, ඖෂධීය ශාක හා විෂ සහිත ශාක ලෙස වර්ගකිරීම.
සතුන්-පියාපත් සහිත සතුන් සහ පියාපත් රහිත සතුන් ලෙස වර්ග කිරීම.

කෘත්‍රිම වර්ගීකරණයක බොහෝ දුර්වලතා ඇත.
ඉහත නිදසුනෙහි පියාපත් සහිත සතුන් යන නිර්ණායකය යටතේ පක්ෂීන් සහ කෘමීන් වර්ග දෙක ම ඇතුළත් වීම. නමුත් පක්ෂීන් හා කෘමීන් පරිණාමිකව බොහෝසෙයින් එකිනෙකට වෙනස් ජීවී වර්ග දෙකකි.

ස්වාභාවික වර්ගීකරණය

ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරුපණය වන ආකාරයට ඔවුන් වර්ග කිරීම ස්වාභාවික වර්ගීකරණයකදී සිදු කරයි. ස්වාභාවික වර්ගීකරණයක දී ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ සලකා බලයි.
ස්වාභාවික වර්ගීකරණයක පහත දැක්වෙන ලක්ෂණ ඇත.
🧬 එකම විශේෂයේ ජීවීන් අතර ස්වාභාවික බන්ධුතා හෙළි කරයි.
🧬 වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පිළිබඳව පැහැදිලි කරයි.
ස්වභවික වර්ගීකරණයක දී ජීවීන් වර්ගීකරණ ධූරාවලියකට අනුව සැකසේ. එනම් වර්ගීකරණ මට්ටම් හෙවත් තක්සෝනවලට (taxon) ජීවීන් බෙදා දැක්වීම මෙහිදී සිදුකෙරේ.

අධිරාජධානි තුනේ වර්ගීකරණය(Three Domain System of Classification)

ජීවීන් වර්ගීකරණය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ස්වාභාවික වර්ගීකරණ පද්ධතියකි. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා විවිධ විද්‍යාඥයින් විසින් වර්ගීකරණ ක්‍රම ඉදිරිපත් කර ඇත. රොබට් විටේකර් (Robert Wittaker, 1969) විසින් ඉදිරිපත් කරන ලද රාජධානි පහේ වර්ගීකරණය අදත් පිළිගැනේ. පසුව කාල් වූස් (Carl woese) විසින් 1990 දී රාජධානිවලට ඉහළින් ඇති මට්ටමක් ලෙස අධිරාජධානිය හඳුන්වා දී අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කරන ලදි.
අධිරාජධානි තුන පහත දැක්වෙන පරිදි වේ.

  1. ආකියා අධිරාජධානිය (Domain Archaea)
  2. බැක්ටීරියා අධිරාජධානිය (Domain Bacteria)
  3. ඉයුකැරියා අධිරාජධානිය (Domain Eukarya)