ස්වාභාවික ජලජ පරිසර පද්ධති

ස්වාභාවික පරිසර පද්ධති හා නිර්මිත පරිසර පද්ධති

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් පොහොසත් රටකි. ශ්‍රී ලංකාව දූපතක් ලෙස පිහිටීම හා රට තුළ මධ්‍ය කඳුකරයක් පිහිටීම නිසා විවිධ පරිසර පද්ධති හමු වේ. විවිධ පරිසර පද්ධති පිහිටීම ජෛව විවිධත්වය අධික වීමට හේතුවකි.
ශ්‍රී ලංකාවේ පවතින පරිසර පද්ධති වර්ගීකරණය පිළිබඳ දළ සටහනක් පහත දක්වා ඇත.

ස්වාභාවික ජලජ පරිසර

ස්වාභාවික ජලජ පරිසර කරදිය, මිරිදිය හා කිවුල්දිය ලෙස ආකාර තුනකින් හඳුනා ගත හැකි ය. අතිවිශාල ජීවීන් ප්‍රමාණයක් මෙම පරිසර ආශ්‍රිතව ජීවත් වේ. ස්වාභාවික ජලජ පරිසර පද්ධති කිහිපයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ගංගා

● ගංගා, මිරිදිය ජලය සහිත පරිසර පද්ධති වේ.
● බොහෝ ගංගා මධ්‍යම කඳුකරයේ උස් බිම්වල ජලාධාර ප්‍රදේශවලින් ආරම්භ වී මුහුදට ගලා බසී.
● ගලායන ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අනුව ගංගාවල ජල මට්ටම අඩු වැඩි වේ.
● ඇතැම් ගංගා වියළි කාලයේ දී කුඩා දිය පහරකට සීමා වේ.
● ගංගාවක ඉස්මත්තේ සිට මෝය දක්වා විවිධ ශාක හා සත්ත්ව විශේෂ වාසය කරයි.
නිදසුන් :- මහවැලි ගඟ, කැලණි ගඟ

12.14 රූපය – ගංගාවක්

සුවිශේෂ වැදගත්කම

● කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීම.
● ජල විදුලිය නිපදවීම.
● ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීම.

ගංමෝය

● ගංගාවක් මුහුදට ගලා බසින ස්ථානය ගංමෝය ලෙස හැඳින්වේ.
● ගංමෝයේ දී කරදිය සහ මිරිදිය මිශ්‍ර වන නිසා කිවුල්දිය සහිත ය.
● කිවුල්දියේ වෙසෙන විවිධ සත්ත්වයින් එහි ජීවත් වේ.
● ගංගාවෙන් ගෙන එන රොන්මඩ හා වැලි තැන්පත් වීම නිසා ඩෙල්ටා ලෙස හැඳින්වෙන ත්‍රිකෝණාකාර දූපත් ඇති වේ.
නිදසුන් :- මහවැලි ගංමෝය – කොඩ්ඩියාර් සහ තම්බලගම් බොක්කට විවෘත වේ.

12.15 රූපය – ගංමෝය

සුවිශේෂ වැදගත්කම

● කරදිය හා මිරිදිය මිශ්‍ර වීම වැළැක්වීම.
● ආර්ථික වටිනාකමින් යුත් මත්ස්‍ය විශේෂ බහුල වීම.
● ජෛව විවිධත්වය ඉතා ඉහළ වීම.

කලපුව

● වැලිපර හෝ කොරල්පර මඟින් ස්ථිරව ම මුහුදෙන් වෙන් වූ නමුත් වසරේ එක් කාලයක දී පමණක් මුහුද සමග සම්බන්ධ වන කිවුල්දිය සහිත ජලාශ කලපු ලෙස හැඳින්වේ.
නිදසුන් – මීගමු කලපුව, මඩකලපුව, පුත්තලම්

12.16 රූපය – කලපුව

සුවිශේෂ වැදගත්කම

● ඉස්සන්, කකුළුවන්, බෙල්ලන් වැනි සතුන් බහුලව වෙසෙන නිසා ධීවර කටයුතු සඳහා යොදා ගැනීම.
● කඩොලාන ලෙස හැඳින්වෙන ශාක ප්‍රජාව කලපුව ආශ්‍රිතව පිහිටයි. එමගින් සමුද්‍ර ඛාදනය අඩු කිරීම.
● සංචාරක ආකර්ෂණය බහුල පරිසරයක් වීම.

ගංගාශ්‍රිත පරිසර

● ගංගාවක් ආරම්භ වන ස්ථානයේ සිට මුහුදට වැටෙන ස්ථානය දක්වා ඇති ගංගාව දෙපස පරිසරය ගංගාශ්‍රිත පරිසරය ලෙස හැඳින්වේ.
● පිටාරතැනි, වැලිතලා, වගුරුබිම් යනාදි පරිසර මීට අයත් වේ.
● විල්ලු, ගංගාශ්‍රිත තෙත්බිම් වර්ගයකි.
● ගංගාවක් වැසි කාලයේ දී පිටාර ගැලීම නිසා පිටාරතැනි නිර්මාණය වේ.
නිදසුන්:- නැගෙනහිර දිග මහවැලි පිටාර තැන්න

12.17 රූපය – ගංගාශ්‍රිත පරිසර

සුවිශේෂ වැදගත්කම

● මිරිදිය ධීවර කර්මාන්තයට යොදා ගැනීම.
● ගංගාව ඔස්සේ ගලා එන රොන්මඩ ආදිය අවසාදනය වීමෙන් පිටාර තැනිවල පස ඉතා සාරවත් ය. බෝග වගාවට මෙන් ම උළු හා ගඩොල් කර්මාන්තය සඳහා ද මෙම පස් යොදා ගනී.

අභ්‍යන්තර ජලාශ

● ස්වාභාවිකව නිර්මාණය වූ විල් සහ පොකුණු මෙන් ම මිනිසා විසින් නිර්මිත වැව් ද අභ්‍යන්තර ජලාශ ලෙස සැලකිය හැකි ය.
● තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ ද දැකිය හැකි මේවා මිරිදිය සහිත පරිසර වේ. ඕලු, නෙළුම්, මානෙල්, කෙකටියා වැනි ශාක මෙන් ම මත්ස්‍යයින්, ගෙම්බන්, මැඩියන්,සර්පයින්, දියබල්ලන් හා ජලාශ්‍රිත පක්ෂින් දැකිය හැකි ය.
නිදසුන් :- පරාක්‍රම සමුද්‍රය, කලා වැව

12.18 රූපය – අභ්‍යන්තර ජලාශයක්

සුවිශේෂ වැදගත්කම

● කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සැලයීම.
● මිරිදිය ධීවර කර්මාන්තයට යොදා ගැනීම.

සාගරය

● පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රදේශයක් වසා සිටින කරදිය සහිත ප්‍රදේශ සාගරය ලෙස හැඳින්වේ.
● ඇල්ගී, බුහුබාවන්, බෙල්ලන්, මත්ස්‍යයින් යනාදි අතිවිශාල ජීවී ප්‍රජාවක් සාගරයේ ජීවත් වේ.

12.19 රූපය – සාගරය

සුවිශේෂ වැදගත්කම

● ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර පද්ධතියක් වීම.
● ලුණු නිපදවීමට සාගර ජලය යොදා ගැනීම.
● ධීවර කර්මාන්තය සිදු කිරීම.
● සාගර තරංග මගින් විදුලිය උත්පාදනය කිරීම.
● සංචාරක ආකර්ෂණය බහුල පරිසරයක් වීම.

තෙත්බිම්

● වර්ෂයේ වැඩි කාලයක් ජලයෙන් යට වී පවතින වගුරු සහිත භූමි වේ.
● මිරිදිය, කරදිය මෙන් ම මිනිසා විසින් නිර්මිත තෙත්බිම් ඇත.

12.20 රූපය – තෙත්බිමක්

සුවිශේෂ වැදගත්කම

● ගංවතුර පාලනය, භූගත ජලය පෝෂණය, ජලාධාරවල ස්ථායීතාව පවත්වා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම, ජෛව විවිධත්වය පවත්වා ගැනීම සඳහා වැදගත් වේ.
● විවිධ නිෂ්පාදන සහ සංචාරක කර්මාන්තය සඳහා ද තෙත්බිම් යොදා ගැනේ.