අනුපාත හැඳින්වීම

පලතුරු යුෂ බෝතලයක සඳහන් කර තිබූ ලේබලයක් ඉහත දක්වා ඇත. පලතුරු යුෂ කොටස් එකක්, ඒ හා සමාන ජලය කොටස් පහක් සමග මිශ්‍ර කර, පානයට ගත යුතු යැයි එහි සඳහන් වේ. ඒ අනුව, පලතුරු යුෂ බෝතලයක යුෂ ප්‍රමාණය එවැනි ජලය බෝතල් පහක ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කර පලතුරු බීම බෝතල් හයක ප්‍රමාණයක් සාදා ගත හැකි ය.
කාර්යාලයක සේවය කරන පිරිමි සේවකයන් ගණන හා ගැහැනු සේවකයන් ගණන සංඛ්‍යාත්මක ව සංසන්දනය කළ හැකි ය.

මේ ආකාරයට යම් යම් ද්‍රව්‍යවල ප්‍රමාණ සංසන්දනය කිරීමට හෝ සමූහ කිහිපයක ඒවායේ ගණන් සංසන්දනය කිරීමට හෝ සිදුවන අවස්ථා බොහෝ තිබේ.
උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
‘ සිමෙන්ති බදාම සකස් කිරීමේ දී වැලි හා සිමෙන්ති මිශ්‍ර කිරීම.
‘ කේක් සෑදීමේ දී පිටි හා සීනි මිශ්‍ර කිරීම.
‘ කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකස් කිරීමේ දී සිමෙන්ති, කළු ගල් හා වැලි මිශ්‍ර කිරීම.
‘ පාසලක සිටින ගැහැනු හා පිරිමි ළමයි ගණන සලකා බැලීම.

ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කර සකස් කර ගනු ලබන මිශ්‍රණයක් සලකමු. මුළු ප්‍රමාණය කුමක් වුවත්, එම මිශ්‍රණයේ ගුණය එක ම ආකාරයෙන් පවත්වා ගැනීම බොහෝ විට අවශ්‍ය වේ. එවැනි අවස්ථාවල දී, මිශ්‍ර කරන ද්‍රව්‍යවල ප්‍රමාණ අතර සම්බන්ධය දැන ගත යුතු ය. මේ සඳහා එම ප්‍රමාණ එකම ඒකකයෙන් දැක්විය යුතු ය.
ඒ අනුව, ඉහත සලකා බැලූ පලතුරු යුෂ මිශ්‍රණය, ඒ තත්වයෙන් ම පහත අකාර දෙකෙන් ද සැකසිය හැකි ය.

මෙම අවස්ථාවල දී ප්‍රමාණය මනින ඒකකය බෝතලය වුව ද වීදුරුව වුව ද ලීටරය වුව ද පලතුරු යුෂ ඒකක 1ක් වතුර ඒකක 5ක් සමඟ මිශ්‍ර කළ යුතු ය.
එක ම ඒකකයෙන් දක්වා ඇති ද්‍රව්‍ය දෙකක හෝ ඊට වැඩි ගණනක ප්‍රමාණ අතර සංඛ්‍යාත්මක සම්බන්ධතාව අනුපාතයක් ලෙස හඳුන්වනු ලැබේ.
එසේම සමූහ දෙකක් සංසන්දනය කිරීමේ දී, සමූහ දෙකේ එක් එක් ගණන අතර සංඛ්‍යාත්මක සම්බන්ධතාවය ද අනුපාතයක් වේ.

ඒ අනුව, ඉහත පලතුරු යුෂ හා වතුර අතර අනුපාතය 1 අනු 5 යැයි කියනු ලැබේ. 1 අනු 5 යන්න, සංකේත ඇසුරෙන් 1 : 5 ලෙස දැක්වේ. මෙහි “:” අනුපාත ලකුණ ලෙසත්, 1 හා 5 එම අනුපාතයේ පද ලෙසත් හැඳින්වේ. 1 : 5 ලෙස ලියූ විට පළමු පදය 1 ද දෙවන පදය 5 ද වේ. අනුපාතය, ප්‍රමාණ මනින ඒකකය මත වෙනස් නොවන නිසා, මෙහි ඒකකය දැක්වීම අවශ්‍ය නොවේ.