සිරිත් යනු කළ යුතු දේවල් ය. චාරිත්‍ර යනුවෙන් ද හැඳින්වෙන එබඳු හොඳ දේ අප කාගේ වුව ද යහපතට හේතු වෙයි. විරිත් යනු නොකළ යුතු දේවල් වන අතර වාරිත්‍ර යනුවෙන් ද ඒවා හැඳින්වේ. එබඳු නරක දේ අප කාගේ වුව ද අයහපතට හේතු වෙයි. සිරිත් හෙවත් චාරිත්‍ර ඉටු කළ යුතු අවස්ථා රැසක් අප ජීවිතය හා බැඳී තිබේ. පෙරදිග ඉපැරණි ඇදහිලි හා විශ්වාස ආදිය ද සමග එක් ව ගත් එබඳු චාරිත්‍ර අප අතර ක්‍රියාවට නැගෙනුයේ බෞද්ධ මුහුණුවරක් ගනිමිනි. එනම් තිසරණ සහිත පන්සිල් සමාදන් ව තෙරුවන් වැඳ පුදා දෙවියන්ට පිං පෙත් දී සෙත් පිරිත් දේශනා කොට ආශීර්වාද ලබා ගනිමිනි. මෙහි දී එබඳු චාරිත්‍රවලින් කිහිපයක් සාකච්ඡා කරනු ලැබේ.
අත්පොත් තැබීම යනුවෙන් පැරණි සම්ප්‍රදායේ හැඳින්වූ මෙම සිරිත දරුවකුගේ ජීවිතයේ විශේෂ ම අවස්ථාවක් ලෙස සලකනු ලැබේ. උපතින් අවුරුදු තුනේ දී හෙවත් කතාබහ කරන වයසේ දී සුබ දවසක සුබ නැකතකට මෙය සිදුකරනු ලැබේ. නියමිත දිශාවකට දරුවාගේ මුහුණ සිටින සේ හරවා සුබ මොහොතින් අතෙහි පොත තබා පළමු ව “නමෝ බුද්ධාය” යයි කියවා අනතුරුව හෝඩියේ එන අකුරක් දෙකක් කියවීම හා ලියවීම සිදු කෙරේ. ස්වාමීන් වහන්සේ නමක් හෝ දැන උගත් වැඩිහිටියකු ලවා අත්පොත් තැබීම සාමාන්‍ය සිරිතයි. මල්පහන් පුදා, පන්සිල් හි පිහිටා, තෙරුවන් වැඳ, සෙත්පිරිත් සජ්ඣායනා කොට, දෙවියන්ට පිං දී මෙම සුබ කටයුත්තෙහි යෙදෙයි. එම අවස්ථාවේ දී පහනක් දැල්වීම චාරිත්‍රයකි. පැරණි සිරිත් අනුව ගණ දෙවියන්ට හා සරස්වතී දේවියට කිරිබත්, කැවිලි, පලතුරු සහිත පූජා වට්ටියක් තබා දේවාශීර්වාද ලබා ගැනේ. බෞද්ධ චාරිත්‍රය වන්නේ කිරිබතින් බුදුරදුන් හා මහ සඟරුවන පිදීමයි. අත්පොත් තැබීමට පෙර බුලත් හුරුල්ලක් පිළිගන්වා ස්වාමීන් වහන්සේට හෝ අත්පොත් තබන ගුරුතුමාට හෝ දරුවා ලවා වන්දවනු ලැබේ. දැන උගත් වැඩිහිටියකු ලවා අත්පොත් තැබූ අවස්ථාවක එතුමාට කිරිබත් ආදියෙන් සංග්‍රහ කොට දරුවාට ද කිරිබත් කැවීම සිදු කෙරේ.