ඇනිමාලියා රාජධානිය – අපෘෂ්ඨවංශීන් (නිඩාරියා)

ඇනිමාලියා රාජධානිය (Kingdom Animalia)

ලෝකයේ විශේෂ 1,260,000 පමණ සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ආහාර නිපදවීමේ හැකියාවක් නැති බැවින් සතුන් විෂමපෝෂීන් වේ.
ඇනිමාලියා රාජධානියට අයත් සතුන් කොඳුඇට පෙළ (කශේරුව) දැරීම හෝ නොදැරීම යන්න පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කර ඇත.

  • අපෘෂ්ඨවංශීන් (Invertebrates)
  • පෘෂ්ඨවංශීන් (Vertebrates)

අපෘෂ්ඨවංශීන් (Invertebrates)

කොඳුඇට පෙළක් (කශේරුවක්) නැති සතුන් අපෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ. අපෘෂ්ඨවංශීන් ඔවුන්ගේ ලක්ෂණ පදනම් කරගෙන නැවත වංශවලට බෙදා වෙන් කර ඇත. එම ප්‍රධාන වංශ පහත දැක්වේ.

  • නිඩාරියා (Cnidaria) / සිලෙන්ටරේටා (Coelenterata)
  • ඇනෙලීඩා (Annelida)
  • මොලුස්කා (Mollusca)
  • ආත්‍රොපෝඩා (Arthropoda)
  • එකයිනොඩර්මේටා (Echinodermata)

නිඩාරියා (Cnidaria) / සිලෙන්ටරේටා (Coelenterata)

ද්විප්‍රස්තරයින් වන හයිඩ්‍රා, මුහුදු මල, ජෙලි මසුන් වැනි සතුන් අයත් වන වංශය යි.

හයිඩ්‍රා
මුහුදු මල
ජෙලි මසුන්

නිඩාරියාවන් පහත සඳහන් ලක්ෂණ දරයි.
🪼 සියල්ලන්ම ජලජ වාසීන් ය. වැඩි පිරිසක් කරදිය වාසී වන අතර සුළු පිරිසක් මිරිදිය වාසී වේ.
🪼 බහු සෛලික දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩනැගී ඇත. ඒ නිසා ද්විප්‍රස්තරයින් ලෙස හැඳින්වේ.
🪼 දේහය තුළ සීලෝමාන්ත්‍රය නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියාකරන කුහරයක් පවතී.
🪼 බුහුබා සහ මෙඩුසා ලෙස ස්වරූප දෙකක් පවතී. බුහුබාවන් ඔත් ජීවීතයක් ගත කරන අතර මෙඩුසාවන් සංචරණය කරයි.
🪼 දේහය අරීය සමමිතියක් දක්වයි.
🪼 සියල්ලන්ම විලෝපීන් ය. පහර දී කුඩා සතුන් අඩපණ කර ආහාරයට ගනී. දංශක කෝෂ්ඨ දරයි.
🪼 අංකුර සෑදීම මගින් අලිංගික ප්‍රජනනය සිදුවේ. ලිංගික ප්‍රජනනය ද සිදුකරයි.