ඉලක්කම් දර්ශකය

ඕනෑම සංඛ්‍යාවක් 3න්, 6න් හෝ 9න් බෙදේ දැයි පහසුවෙන් හඳුනා ගැනීම සඳහා අපට ඉලක්කම් දර්ශකය වැදගත් වේ. දැන් අපි ඒ සඳහා “ඉලක්කම් දර්ශකය” යනු කුමක්දැයි හඳුනා ගනිමු.

සංඛ්‍යාවක ඇති ඉලක්කම් සියල්ල 1 සිට 9 තෙක් අගයක් ලැබෙන තෙක් එකතු කර ලබා ගන්නා ප්‍රතිඵලය එම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලෙස හඳුන්වනු ලැබේ.

සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය සොයන්නේ කෙසේ දැයි උදාහරණ කිහිපයක් මගින් විමසා බලමු.
ඒ සඳහා 213හි ඉලක්කම් දර්ශකය සොයමු. මේ සඳහා 213හි ඇති ඉලක්කම් සියල්ල එකතු කළ යුතු වේ.

ඒ අනුව 2 + 1 + 3 = 3 + 3 = 6. එම නිසා 213හි ඉලක්කම් දර්ශකය 6 වේ.
දැන් 68හි ඉලක්කම් දර්ශකය සොයමු.
6 + 8 = 14 වේ. නමුත් 68හි ඉලක්කම් දර්ශකය 14 නොවේ. 14හි ද ඉලක්කම් එකතු කර තනි ඉලක්කමක් ලබාගත යුතුය. 1 + 4 = 5වේ.
එනම්, 68හි ඉලක්කම් දර්ශකය 5 වේ.