මෙම ක්‍රියාකාරකමේ දී ඔබ ලබාගන්නා උෂ්ණත්වමාන පාඨාංක අගයන් අතර වෙනසක් පැවතීමට හේතු විය හැකි කරුණු පිළිබඳ ව සිතා බලන්න.
සූර්ය තාපය නිසා දිවා කාලයේ දී උණුසුම් වන පරිසරය රාත්‍රී කාලයේ දී සිසිල් වෙයි. මෙම ක්‍රියාදාමය පෘථිවිය මත ජීවයේ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වෙයි.
සමහර රටවල අධික සීතල නිසා මිනිසුන් මිය යාම සිදුවෙයි. එමෙන් ම සමහර රටවල මිනිසුන් අධික උණුසුම නිසා මිය යාම ද සිදුවෙයි. මෙයින් පෙනෙන්නේ අපට ජීවිතය පවත්වා ගත හැකි උෂ්ණත්වයේ සීමාවක් පවතින බව ය.
මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය 37 0C කි. පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුව ද අපගේ සිරුරේ උෂ්ණත්වය නොවෙනස් ව පවතී. පරිසරය සිසිල් වූ විට සිරුර තුළ තාපය වැඩිපුර නිපදවයි. එහෙත් සර්පයින්, ගෙම්බන්, කටුසසන් හා කෘමීන් වැනි සත්ත්වයින්ට එසේ කළ නොහැකි ය. එවැනි සතුන්ගේ සිරුරේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය අනුව වෙනස් වේ.
සමහර සතුන්ගේ සිරුර ලෝමවලින් ආවරණය වී ඇත. සමහර සතුන්ගේ සමට යටින් ඝනකම මේද තට්ටුවක් පිහිටා ඇත. මෙවැනි හැඩගැසීම් ඔවුන්ගේ සිරුරේ උණුසුම පවත්වා ගැනීමට උදවු වේ.
ද්‍රව්‍ය උණුසුම් කරන ශක්ති ප්‍රභේදය තාපයයි. අපගේ ප්‍රධාන තාප ප්රභවය වන්නේ සූර්යයා ය.
තාපය ප්‍රයෝජනවත් වන්නේ ජීවය පවත්වා ගැනීම සඳහා පමණක් නොවේ. එදිනෙදා ජීවිතයේ දී තාපය භාවිත කිරීමට සිදුවන අවස්ථා රැසක් වෙයි. දැන් අපි එවැනි අවස්ථා පිළිබඳ ව සොයා බලමු.
ජලය උණුසුම් කරගැනීම සඳහා ද සූර්ය තාපය යොදාගත හැකි ය. සමහර නිවෙස්වල වහල මත සවිකර ඇති සූර්ය ජල තාපක ඔබ දැක තිබේ ද?
සූර්යයා හැරුණු විට තාපය ලබා ගත හැකි වෙනත් ප්‍රභව ද වෙයි. ඉන්ධන දහනය කිරීමෙන් ද තාපය ලබා ගත හැකි ය. දර, ගල් අඟුරු, භූමිතෙල් හා ස්වාභාවික වායුව වැනි ඉන්ධන මේ සඳහා බහුල ව යොදාගනී.
නිවසේ ඇති තාප ප්‍රභව පිළිබඳ ව ඔබ සොයා බැලුවා නේ ද? එහි දී ඔබට ඉන්ධන දහනයට අමතර ව විදුලියෙන් තාපය නිපදවන උපකරණත් හමුවන්නට ඇති. භාවිතයෙන් ඉවත් කළ එවැනි උපකරණයක් පරීක්ෂා කර බැලීමෙන් එහි තාපය උපදවන තාපන දඟරය ඔබට හඳුනාගත හැකි ය.