ධර්ම රත්නයේ ගුණ

ඒ ඇසෙන්නේ අපේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ හඬ ය. ඒ උන් වහන්සේ බෝධි පූජා පවත්වන්නට පෙර කියවන ගාථාව සහ එහි අර්ථය කියවෙන කවියයි. සෑම සති අන්තයක ම පැවැත්වෙන බෝධි පූජාවේ දී ඇසෙන මෙම ගාථා සහ කවි පටිගත කොට නිතර සවන් දීම මගේ පුරුද්දයි.

රත්නයක් යනු මැණිකකි. මේ ලෝකයේ කිසිවකුටත් මිල කළ නොහැකි රත්න තුනකි. ඒ බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නයයි. අපි මෙම රත්න තුන තුනුරුවන් ලෙසින් හඳුන්වමු. අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි තිසරණ සහිත පංච ශීලය සමාදන් වෙමු. වැඩිහිටියෝ ද බොහෝ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සිදු කරති. එහි දී අප භාවිත කරන ඉතිපිසෝ, ස්වාක්ඛාතෝ, සුපටිපන්නෝ යන පාඨයන්හි ඇතුළත් ගුණ විසි හතරකි. බුදු ගුණ නවයක් ද, සදහම් ගුණ හයක් ද, සඟ ගුණ නවයක් ද ලෙසින් ඒ ගුණ විසි හතර බෙදී යයි.