නිර්මිත පරිසර පද්ධති

ශ්‍රී ලංකාවේ පවතින නිර්මිත පරිසර පද්ධති ප්‍රධාන වර්ග තුනකට වෙන් කළ හැකි ය.
● කෘෂිකාර්මික පරිසර
● කාර්මික පරිසර
● ජනාවාස පරිසර

කෘෂිකාර්මික පරිසර

● ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා බෝග වගාව සහ සත්ත්ව පාලනය සිදු කිරීමට සකස් කළ පරිසර පද්ධතියක් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ.
● ස්වාභාවික පරිසරවල ව්‍යාප්තව තිබූ ඇතැම් ශාක හා සතුන් මිනිසා විසින් තම පාලනය යටතේ ඒකරාශී කර ඇති අවස්ථා කෘෂිකාර්මික පරිසර තුළ හමු වේ.
● වී ගොවිතැන, තේ සහ එළවළු වගාව සඳහා විශේෂයෙන් බිම් සකස් කිරීමක් සිදු කළ යුතු ය. එමෙන් ම සත්ත්ව පාලනය සඳහා ද බිම් වෙන් කළ යුතු ය. මෙහි දී තෘණබිම් සතුන් විසින් උලා කෑම නිරන්තරයෙන් සිදුවන විට ශාක සන්තතියක් ඇති නොවේ. එනම් ජෛව විවිධත්වය සීමා සහිතව සිදු වේ.

12.30 රූපය – වගා බිමක්

කාර්මික පරිසර

● යම්කිසි නිෂ්පාදනයක් සිදු කිරීමට අවශ්‍ය පරිදි යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, ශ්‍රමය හා ශක්ති සම්පත් ඒකරාශී කරගෙන ගොඩනගන ලද පරිසර පද්ධතියක් කාර්මික පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ.
● රටක් සංවර්ධනය කිරීමේ දී රට වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හේතු වන බොහෝ දෑ (ආහාර, ඖෂධ, නිමි ඇඳුම්, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය) විවිධ කර්මාන්ත ඇසුරෙන් සිදු කරයි.
● මෙවැනි කාර්මික පරිසර ආශ්‍රිත නිමැවුම් මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් වන නමුදු ඒවායින් ඇතිවන අහිතකර බලපෑම් ද තිබේ.

12.31 රූපය – කර්මාන්ත ශාලාවක්

ඒවා නම්,

  • කාර්මික පරිසර තුළ ඇති වන අධික ශබ්දය
  • පිට වන විෂ වායු, දුම් සහ ධූලි
  • අධික තාපයක් පිටවීම සහ දූෂිත ජලය ජලාශවලට එකතු වීම
  • හානිකර රසායන ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම

ජනාවාස පරිසර

● මිනිසා තම වාසස්ථාන පිහිටුවා ගත් ග්‍රාමීය හෝ නාගරික පරිසරයක් ජනාවාස පරිසරයක් ලෙස හැඳින්වේ.
● විවිධ අවශ්‍යතා මත නගරවලට සංක්‍රමණය වීම නිසා නාගරීකරණය සිදුවීම හේතුවෙන් නාගරික ජනාවාස ශීඝ්‍රයෙන් බිහි වී ඇත.
● ජනාවාස බිහි වීම අවිධිමත් ආකාරයෙන් සිදු වීම නිසා පැන නැගී ඇති ගැටලු රාශියකි.

12.32 රූපය – ජනාවාසයක්
  1. ඉඩකඩ අඩු වීම
  2. නිසි පරිදි ආලෝකය නොලැබීම
  3. වාතාශ්‍රය අඩු වීම
  4. රෝග, වසංගත තත්ත්වයට පත් වීම
  5. සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම
  6. ගෘහස්ථ කැලි කසළ ඉවත් කිරීමේ අපහසුතා ඇතිවීම
  7. හදිසි ගිනි ගැනීම්වලින් හානි සිදුවීම
  8. වර්ෂාවක දී පිටාර ජලයෙන් යට වීම
  9. සංස්කෘතික හා සමාජ ගැටලු ඇතිවීම