ප්‍රධාන දිශා

● දිවයිනේ ඊසාන දිග වෙරළ තීරයට දැඩි සුළං – කාලගුණ නිවේදනයක්
● පෙ.ව. 8.05 ට නැගෙනහිර බලා ළිප ගිනි මෙළවීම ශුභයි – අවුරුදු චාරිත්‍රයක්
● පෙ.ව. 3.00ත් 5.00ත් අතර නිරිතදිග අහසේ උල්කාපාත වර්ෂාවක් – පුවතක්

ඉහත දැක්වෙන්නේ එදිනෙදා ජීවිතයේ දී දිශා පිළිබඳ සඳහන් වන අවස්ථා කිහිපයකි. එලෙස විවිධ කටයුතුවල දී, දිශා පිළිබඳ දැනුම අපට අවශ්‍ය වේ.
දැන් අපි මීට පෙර ඔබ ඉගෙන ගෙන ඇති ප්‍රධාන දිශා හතර යළි මතක් කර ගනිමු.

නැගෙනහිර දිශාව නම් කර ඇත්තේ හිරු නැගෙන දිශාව ලෙස ය. රූපයේ දැක්වෙන පරිදි දෑත් දිග හැර, ඉර නැගෙන දිශාවට මුහුණලා සිටගන්න. එවිට, ඔබේ දකුණු අතින් දැක්වෙන දිශාව, දකුණු දිශාව වන අතර වම් අතින් දැක්වෙන දිශාව, උතුරු දිශාව වේ. එවිට, ඔබ පිටුපා සිටින්නේ බස්නාහිර (බටහිර) දිශාවට යි.

දිශා සටහනක් පොතක ඇඳීමේ දී, සම්මතයක් ලෙස එහි දිශා දක්වනුයේ පහත සඳහන් ආකාරයට යි.

පහත රූපයේ දැක්වෙන දෑවල පිහිටීම, දිශා ඇසුරෙන් හඳුනා ගනිමු.

ඉහත දැක්වෙන රූපවලට අනුව,
1. ළමයාට උතුරු දිශාවෙන් ගස පිහිටා ඇත.
2. ළමයාට නැගෙනහිර දිශාවෙන් ළිඳ පිහිටා ඇත.
3. ළමයාට බටහිර දිශාවෙන් ගෙය පිහිටා ඇත.
4. ළමයාට දකුණු දිශාවෙන් ගේට්ටුව පිහිටා ඇත.
5. ළමයා මුහුණලා සිටින්නේ දකුණු දිශාවට ය.
6. ගේට්ටුවට උතුරු දිශාවෙන් ළමයා හා ගස පිහිටා ඇත.