බුදු සිරිත අනුව යමු අසරණයන්ට සරණ වෙමු

අසරණ මහලු පියෙක්

සැවැත් නුවර මහ ජනයා එක්රැස් ව සිටි ශාලාවක හදිසියේ නොසන්සුන්කාරී ස්වභාවයක් හට ගැනුණි. කිසි යම් පිරිසක් දොස් පරොස් බස් තෙපළමින් තවත් පිරිසකට පහර දීමට ද සැරසෙන ස්වරූපයක් දක්නට ලැබුණි. පසු ව විමසා බැලීමේ දී පැහැදිලි වූයේ එක ම පවුලේ දරුවන් සිවු දෙනෙකුට එරෙහි ව රැස් ව සිටින්නන්ගේ විරෝධතාව එල්ල වී තිබූ බව ය. විරෝධතාව පිටුපස සියලු දෙනාගේ අවධානයට යොමු විය යුතු වැදගත් සිදුවීමක් තිබුණි. එය අනුවේදනීය පුවතකි.

එක්තරා තරුණ පියෙකුට දරුවෝ සිවු දෙනෙක් සිටියහ. කුඩා කල ඔහු එම දරුවන් සිවු දෙනාට හොඳින් සිප් සතර උගන්වා සුදුසු කල ආවාහ කටයුතු ද සිදු කොට තමා සතු ධනය ද දරුවන්ට සමසේ බෙදා දුන් ගුණගරුක අයෙකි. එහෙත් පසු කලෙක දී එම දරුවන් කළගුණ අමතක කොට සිය පියා රැක බලා ගැනීම උපායශීලී ව ප්‍රතික්ෂේප කළහ. කිසිවෙකුගේ පිහිට නොලබා සැරයටියට පමණක් හිමිකම් කියමින් එම පියා අවසානයේ මහමගට බැස ඉබාගාතේ යමින් සිටිය දී අහඹු ලෙස ජේතවනාරාමයට පැමිණියේ ය. මොහුගේ අසරණ බව මැනැවින් වටහා ගත් බුදුරජාණන් වහන්සේ කෙළෙහි ගුණ නොදත් දරුවන් සිව් දෙනාගේ අකාරුණික භාවය මැනැවින් හෙළි වන ගාථා කිහිපයක් ඔහුට කියා දුන් සේක. අසරණ පියතෙමේ එම ගාථා පාඩම් කොට දරුවන් සිව් දෙනා පැමිණ සිටි ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කළේ ය. කෙළෙහි ගුණ අමතක කොට ආත්මාර්ථකාමී හැඟීමෙන් ක්‍රියා කළ දරුවන් සිව් දෙනාගේ සැබෑ තතු දත් මහ ජනතාව ඔවුන් කෙරෙහි සිය අප්‍රසාදය පළ කිරීම ඉහත සඳහන් සිදු වීමට පසුබිම විය. මහජනතාව ඉදිරියේ පියාගෙන් සමාව ගත් දරුවෝ පියා කැඳවාගෙන ගොස් මැනැවින් රැක බලා ගත්හ. අසරණ භාවයට පත් ව සැරයටියේ පිහිට පමණක් ලද පියාට අවසානයේ පිහිට වූයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.