මිනිසාගේ බහිස්ස්‍රාවි ක්‍රියාවලිය

ජීවී සෛල තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුව පරිවෘත්තිය ලෙස හැඳින්වේ. පරිවෘත්තීය ක්‍රියා සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
● සෛලීය ශ්වසනයේ දී කාබන් ඩයොක්සයිඩ් වායුව, ජලය හා ශක්තිය නිපදවීම
● අක්මාවේ දී සිදුවන ප්‍රෝටීන් පරිවෘත්තියේ දී යූරියා, යූරික් අම්ලය වැනි ද්‍රව්‍ය නිපදවීම
පරිවෘත්තීය ක්‍රියා නිසා සෛල තුළ අවශ්‍ය මෙන්ම අනවශ්‍ය ඵල නිපදවේ. සෛල තුළ පරිවෘත්තීය ක්‍රියා සිදුවීම නිසා නිපදවෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය බහිස්ස්‍රාවි ද්‍රව්‍ය ලෙස හැඳින්වෙන අතර එම ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම සිදුකළ යුතු ය.
පරිවෘත්තීය ක්‍රියාවල දී නිපදවෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම බහිස්ස්‍රාවය ලෙස හැඳින්වේ.
මෙම බහිස්ස්‍රාවි ද්‍රව්‍ය, බැහැර කෙරෙන ඉන්ද්‍රිය හා ඒවා බැහැර කරන ආකාරය 6.2 වගුවේ දැක්වේ.

මල බහිස්ස්‍රාවි ද්‍රව්‍යයක් නොවන්නේ ඇයි?
මල යනු ජීරණ ක්‍රියාවලියේ දී ජීරණය නොවී ඉතිරි වන කොටස් ය. ජීරණය සිදුවනුයේ ආහාර ජීරණ පද්ධතිය තුළ ය. ආහාර ජීරණය, සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් නොවන බැවින් මල ද්‍රව්‍ය, බහිස්ස්‍රාවි ද්‍රව්‍යයක් සේ නොසැලකේ. එසේ වුව ද මල සමග පිටවන පිත්ත වර්ණක බහිස්ස්‍රාවි ද්‍රව්‍යයකි.

මූත්‍රවාහිනී පද්ධතිය

මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ස්‍රාවය සිදුවන ප්‍රධාන ඉන්ද්‍රියය ලෙස සැලකෙන්නේ වෘක්කයයි. වෘක්ක යුගලය හා සම්බන්ධ විවිධ අවයව සමූහනයෙන් මූත්‍රවාහිනී පද්ධතිය සංවිධානය වී ඇත.
මිනිස් මූත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් පහත දක්වා ඇත.
● වෘක්ක යුගල
● මූත්‍රවාහිනී යුගල
● මූත්‍රාශය
● මූත්‍ර මාර්ගය

වෘක්කීය ධමනි හරහා වෘක්කයට ඇතුළු වන රුධිරයේ ඇති පරිවෘත්තීය අපද්‍රව්‍ය පෙරීම සිදු වේ. මෙම පෙරනය මූත්‍ර ලෙස හැඳින්වෙන අතර ඒවා මූත්‍ර වාහිනී තුළින් ගමන් කොට මූත්‍රාශය තුළ තාවකාලිකව ගබඩා වේ. ඉන් පසු මූත්‍රාශයේ සිට මූත්‍ර මාර්ගය හරහා මූත්‍ර බැහැර කිරීම සිදු වේ.

වෘක්කයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වනුයේ වෘක්කාණුව යි. වෘක්කාණු අණ්වීක්ෂීය වන අතර එක් වෘක්කයක් තුළ සාමාන්‍යයෙන් වෘක්කාණු මිලියනයක් පමණ ඇත.
වෘක්කාණුවක කොටස් 6.15 රූපයේ දැක්වෙන ආකාරයට හඳුනාගත හැකි ය.

මූත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය

වෘක්කාණු තුළ මූත්‍ර සෑදීම අවස්ථා තුනකින් සිදුවේ.

  1. අතිපරිස්‍රාවනය
  2. වරණීය ප්‍රතිශෝෂණය
  3. ස්‍රාවය

අතිපරිස්‍රාවනය

වෘක්කාණුවේ බෝමන් ප්‍රාවරය තුළ අභිවාහී ධමනිකාව බෙදීමෙන් හටගන්නා කේශනාලිකා ජාලයක් පිහිටයි. මෙය ගුච්ඡිකාව නමින් හැඳින්වේ. බෝමන් ප්‍රාවරයෙන් පිටතට ගමන් කරන අපවාහී ධමනිකාවේ විශ්කම්භය, බෝමන් ප්‍රාවරය වෙත පැමිණෙන අභිවාහී ධමනිකාවේ විශ්කම්භයට වඩා අඩුය. එබැවින් ගුච්ඡිකාව තුළින් ගමන් කරන රුධිරයේ පීඩනය වැඩි ය. මේ නිසා ගුච්ඡික කේශනාලිකා බිත්ති හා බෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්ති තුළින් රුධිර ප්ලාස්මාව පෙරී ප්‍රාවරයේ කුහරයට එකතු වේ. මෙම ක්‍රියාවලිය අතිපරිස්‍රාවනය ලෙස හඳුන්වන අතර මෙසේ පෙරෙන තරලය ගුච්ඡිකා පෙරනය නම් වේ.

මෙම පෙරනයට ප්ලාස්ම ප්‍රෝටීන් වැනි විශාල අණු හා රුධිර සෛල එක් නොවේ. මේ අනුව ගුච්ඡිකා පෙරනය රුධිර ප්ලාස්මයට බොහෝ දුරට සමාන වේ. ගුච්ඡිකා පෙරනයෙහි ඇති ප්‍රධාන සංඝටක ලෙස ජලය, ග්ලූකෝස්, ඇමයිනො අම්ල, විටමින්, ඖෂධ, විවිධ අයන, හෝර්මෝන හා යූරියා ඇත.

වරණීය ප්‍රතිශෝෂණය

ගුච්ඡිකා පෙරනය වෘක්ක නාලිකාව දිගේ ඉදිරියට යන විට එහි අඩංගු ද්‍රව්‍යවලින් වැඩි කොටසක් වෘක්ක නාලිකාව වටා පිහිටි රුධිර කේශනාලිකාවලට නැවත අවශෝෂණය වේ. මෙය වරණීය ප්‍රතිශෝෂණය ලෙස හැඳින්වේ. ගුච්ඡිකා පෙරනයේ අඩංගු ජලයෙන් 90%ක් පමණ ද ග්ලූකෝස් සියල්ල ම ද ඇමයිනො අම්ල, විටමින්, ලවණ, යූරියා හා යූරික් අම්ලය කොටසක් ද ඖෂධ ආදිය ද මෙසේ ප්‍රතිශෝෂණය වේ. මෙසේ සංයුතිය වෙනස් වූ ගුච්ඡිකා පෙරනය සංග්‍රාහක නාලිකාවලින් ශ්‍රෝණියට වෑස්සේ. විනාඩියක දී නිරෝගී පුද්ගලයකුගේ නිපදවෙන ගුච්ඡිකා පෙරනයේ පරිමාව ඝන සෙන්ටිමීර් 120ක් පමණ වේ. නමුත් මෙම ගුච්ඡිකා පෙරනය වෘක්ක නාලිකා හරහා ගමන් කිරීමේ දී 95%ක් පමණ ප්‍රතිශෝෂණය වේ.

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ ග්ලූකෝස් ප්‍රතිශෝෂණය 100% වන අතර දියවැඩියා රෝගීන්ගේ ග්ලූකෝස් ප්‍රතිශෝෂණය මුළුමනින් ම සිදු නොවේ. ඔවුන්ගේ වෘක්ක නාලිකාව තුළ ඉතිරි වන ග්ලූකෝස්, මූත්‍ර සමග පිට වේ.

ස්‍රාවය

වෘක්කාණුවේ පිටතින් ඇති රුධිර කේශනාලිකාවල ඇති සමහර ද්‍රව්‍ය වෘක්කාණුවේ නාලිකා තුළට ඇතුළු වීම ස්‍රාවය ලෙස හැඳින්වේ.
නිදසුන් :- හයිඩ්‍රජන් අයන (H+), පොටෑසියම් අයන (K+), ඇමෝනියම් අයන (NH4+), ක්‍රියටිනීන්, ඖෂධ, විටමින් B

මූත්‍ර බැහැර කිරීම

ශ්‍රෝණියට වෑස්සෙන මූත්‍ර, මූත්‍රවාහිනී ඔස්සේ ගමන් කොට තාවකාලිකව මූත්‍රාශයේ එකතු වේ. මූත්‍ර පහ කිරීමේ අවශ්‍යතාව මත මූත්‍ර බැහැර කිරීම සිදුවේ. නිරෝගී පුද්ගලයකුගේ මූත්‍රවල සාමාන්‍ය සංයුතිය 6.3 වගුවේ දක්වා ඇත.

මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ

මූත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගාබාධ කිහිපයක් පිළිබඳව සොයා බලමු.

වෘක්ක අකර්මණ්‍ය වීම(Renal failure)

වෘක්ක තුළ ඇති වෘක්කානුවල මූත්‍ර පෙරීමේ ක්‍රියාවලිය දුර්වල වීම නිසා වෘක්ක අකර්මණ්‍යතාවට පත්වේ. වෘක්ක අකර්මණ්‍යතාව සඳහා ක්‍ෂුද්‍ර ජීවී ආසාදන, බැරලෝහ (රසදිය, ආසනික් වැනි), විවිධ ඖෂධ, කාබන් ටෙට්රාක්ලෝරයිඩ් (CCl4) වැනි සංයෝග හේතු විය හැකි ය. මූලික රෝග ලක්ෂණ වනුයේ ජලය හා ලවණ දේහ පටකවල රැඳීම නිසා ඇතිවන පටක ඉදිමීම හා රුධිර පීඩනය ඉහළ යාම යි. යූරියා හා අනෙකුත් බහිස්ස්‍රාවි ද්‍රව්‍ය රුධිරයේ එකතු වීමෙන් රුධිරයේ pH අගය පහළ යයි. රෝග ලක්ෂණවලට ඉක්මන් ප්‍රතිකාර කිරීම මෙන් ම මනා යහපැවැත්ම පවත්වා ගැනීම මගින් වෘක්ක නිරෝගීව පවත්වා ගත හැකි ය. රෝග ලක්ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර නොකළහොත් දින 8-14ක් ඇතුළත පූර්ණ ලෙස වෘක්ක අකර්මණ්‍යතාවට (තීව්‍ර වකුගඩු අක්‍රිය වීම/Acute renal failure) පත්වේ. එවිට කෘත්‍රිම වකුගඩුවක් මගින් රුධිර කාන්දු පෙරීමට (Dialysis) ලක් කරයි.
වකුගඩු දෙක ම අක්‍රිය වූ විට දායකයකුගෙන් ලබාගත් නිරෝගීි වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවේ.

නෙප්රයිටිස්/වෘක්ක ප්‍රදාහය (Nephritis)

වෘක්ක ප්‍රදාහය හෙවත් ඉදිමීම ඇති වනුයේ ආසාදන හා විෂ වර්ග නිසා ය. මූත්‍ර වාහිනියේ ආසාදන හා ශරීරය තුළ ඇතිවන වෙනස්කම් ද මෙයට හේතු වන බව වෛද්‍ය මතය යි. වෘක්ක ප්‍රදාහයේ දී ගුච්ඡිකා හා වෘක්ක නාලිකාවලට ද බලපෑම් ඇති වේ. ගුච්ඡිකාවලට හානි සිදු වීමෙන් ඒ තුළින් පෙරී යන රුධිර ප්‍රමාණය අඩු වේ. මේ නිසා මූත්‍ර නිෂ්පාදනය අඩු වන අතර ශරීරය තුළ රඳවා ගන්නා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යයි. එසේ ම ගුච්ඡිකාවට හානි පැමිණීමෙන් රක්තාණු කාන්දු වීම සිදු වී මූත්‍රවලට ඒවා එකතු වේ. එසේ ම මූත්‍ර සමග ප්‍රෝටීන් ඉවත්වීම නිසා අත්‍යවශ්‍ය ප්‍රෝටීන් හිඟවීමෙන් රුධිර කැටි ඇති වී හදිසි ආඝාත (strokes) ඇති විය හැකි ය. එබැවින් වහා ම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු රෝගී තත්ත්වයකි.

වෘක්කවල හා මූත්‍රාශයේ ගල් සෑදීම (Calculi in kidney and bladder)

වෘක්කවල හෝ මූත්‍රාශයේ කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ ස්ඵටිකීකරණය වීමෙන් මෙම ගල් සෑදේ. මූත්‍රවාහිනියේ ගල් හිරවීමෙන් දැඩි වේදනාවක් ඇති වෙයි. ඖෂධ මගින් හෝ සැත්කමක් මගින් මූත්‍ර ගල් ඉවත් කළ හැකි ය. ලේසර් කිරණ එල්ලකොට ගල් කුඩු කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය ලිතෝටි්‍රප්සි තාක්ෂණය (Lithotripsy) ලෙස හැඳින්වේ. මූත්‍ර ගල් සෑදීමට පුද්ගලයකු ගන්නා ආහාරවලින් ද බලපෑමක් ඇත. එමෙන් ම මූත්‍ර පහකිරීමේ අවශ්‍යතාව කල් දැමීම ද මූත්‍රාශයේ ගල් ඇතිවීමට හේතු වේ. දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මෙම තත්ත්වය වළක්වාගැනීමට ඉවහල් වේ.