මුනි සිරිපා සිඹිමින්නේ

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි (1901-1951)

“ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි යනු මෙරට ජාතික වීරවරයන් ගැන කියැවෙන අවස්ථාවන්හි දී නොවැරදී ම සඳහන් වන සුවිශේෂ නාමයකි.
සුවිශේෂත්වය වන්නේ අප රට ගැන, එහි නිදහස ගැන ඉමහත් වාත්සල්‍යයකින් ලියූ – දෙසූ උන් වහන්සේ උපතින් ශ්‍රී ලංකිකයකු නොවීමය.”

ටිබෙට් රටෙහි සිකීම් දේශයේ උපන් මහින්ද හිමියන්ගේ ළමා කාලය පිළිබඳ වැඩිදුර තොරතුරු සපයා ගැනීම අපහසු ය.
එහෙත් උන් වහන්සේ 1901 දී පමණ ජන්ම ලාභය ලැබූ බව පිළිගැනේ. ටිබෙට් රටෙහි උසස් පෙළපතක් වූ තෂි නම්ග්‍යල් පෙළපතට අයත් මහින්ද හිමි ඇස්.කේ. තෂි නම්ග්‍යල් ලෙස මුල දී හඳුන්වා ඇත.
වයස අවුරුදු දොළහේ දී පමණ සිය පැවිදි සොහොයුරා වූ එස්.
පුණ්ණජී හිමියන් සහ ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමග කුඩා තෂි ලංකාවට පැමිණ ඇත.

මුලින් ම පොල්ගස්දූව ආරාමයේ නැවතී, කොළඹ විද්‍යෝදය පිරිවෙනට බැඳී ඉගෙනීමටත් එම කාලයේ ම මරදානේ මහාබෝධි විද්‍යාලයෙන් ඉංග්‍රීසි ඉගෙනීමටත් ඔහු යොමු වී ඇත.
තෂි නම්ග්‍යල්, එස්. මහින්ද හිමි ලෙස පැවිදි බව ලබන්නේ රත්ගම සිරි චූලසුමන හිමියන් වෙතිනි.
මෙලෙස අමරපුර නිකායේ පැවිදි ව දොඩන්දූවේ ශෛලබිම්බාරාමයෙහි
වැඩ වෙසෙමින් මහින්ද සාමණේර හිමියෝ සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියහ.
පසුව උන් වහන්සේ කොළඹ කොම්පඤ්ඤ වීදියේ සෞගත ආවාසය වෙත පැමිණියහ.
ඒ 1930 වර්ෂයේ ය.
එහි දී උන් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන් වෙත යළි පැවිදි වූයේ සියම් නිකායේ භික්ෂුවක හැටියට ය.
මහින්ද හිමියන් උපසම්පදා වී ඇත්තේ 1931 වර්ෂයේ ය.
1934-1936 කාල වකවානුව තුළ එස්. මහින්ද හිමියෝ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කළෝ ය.
එහි දී උන් වහන්සේ සිංහල, පාලි, බුද්ධ ධර්මය
විෂය ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත. එස්. මහින්ද හිමියන් 1936 වර්ෂයේ සිට වැඩ වාසය කර ඇත්තේ පානදුරේ මහබෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමයේ ය.
එහි වසර 15ක් පමණ වැඩ වෙසෙමින් විවිධ සමාජ ආගමික සාහිත්‍ය සේවාවන් සිදු කරමින් සිටිය දී 1951 මාර්තු 16 දා මේ උද්යෝගිමත් බුද්ධපුත්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වූහ.

එස්. මහින්ද හිමියන් වඩාත් ප්‍රකට වූයේ කවියකු හා දේශකයකු ලෙසටය.
උන් වහන්සේගේ සාහිත්‍ය කටයුතු බෙහෙවින් ම කවියට නැඹුරු විය.
එම කවි ප්‍රධාන තේමා තුනක් යටතේ අපට හඳුනා ගත හැකි ය.

  • ළමයින් උදෙසා ලියූ කවි
  • දේශානුරාග හා ජාතිකාභිමාන කවි
  • බුද්ධාභිවන්දනා කවි

ඉහත සෑම වර්ගයක ම කවි වර්තමානයේ දී ද පාඨක, රසික, විචාරක අවධානයට ලක්ව පවතී.
උන් වහන්සේ ලියූ ජාතිකාභිමානී කෘති අතර නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය සහ ලංකාමාතා කාව්‍ය සංග්‍රහ ජනප්‍රිය විය.

ඇස්. මහින්ද හිමියෝ කුඩා දරුවන් උදෙසා ද කාව්‍ය ප්‍රබන්ධ රැසක් කළහ.
උන් වහන්සේ විසින් රචිත ළමා නිර්මාණ මූලික වශයෙන් කව්මිණ, කව්මුතු හා ළමා කව් කලඹ යන කෘති තුනෙහි සංගෘහිත වී ඇත.
ඔවා මුතු උන් වහන්සේ ලියූ මුල් ම කාව්‍ය කෘතිය යි.
නන්දන ගීත උන් වහන්සේ ලියූ තවත් කෘතියකි.
මෙම පාඩමට පාදක වන ‘දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ නමැති දීර්ඝ කාව්‍ය පන්තිය ජාතික වීර කාව්‍යයක් බවට පත් ව තිබේ.
මෙය ළමයින් අරමුණු කර ගෙන මුළු මහත් ජාතිය ම අමතන කාව්‍යයකි.
ජාතික සිරිත් විරිත්, ආකල්ප හා චින්තනය කැටි කර ගත් උපදේශාත්මක කාව්‍යයක් වන මෙය ඉතිහාස තොරතුරු රැසක් ද සම්පිණ්ඩනය කළ අවස්ථාවකි.

ජාතික තොටිල්ල’ පද්‍ය පන්තිය රචනා වීම පිළිබඳ පසුබිම් කතාව ද අපූර්ව එකකි.
දිනක් මහින්ද හිමියෝත් භදන්ත මංජු හිමියෝත් පියදාස පලන්සූරිය මහතාත් ඇම්.ඊ. ප්‍රනාන්දු මහතාත් අගනුවර සිට මහනුවරට ගොස්, ගන්නෝරුව හරහා යටිගල සුමනාරාමයට යමින් සිටියහ.
පිරිස එක්තරා වෙල්යායකට පිවිසෙන විට හොඳට ම සවස් වී තිබිණ.
එම සුන්දර පරිසරය ගැන මහින්ද හිමියෝ වශීකෘත ව ගියෝ ය.
වෙල මැද වූ කමතක පොල් අතු පැල දුටු උන් වහන්සේ “අපි අද රෑට මේ පැලේ නතර වෙමු” යැයි යෝජනා කළහ.
සියල්ලෝ එකඟ වූහ.
සඳ පහන් රැයෙහි වෙල්යාය තවත් සුන්දර වී තිබිණි.
පොල් අතු
පැල එකම සාහිත්‍ය මණ්ඩපයක් විය.
මහින්ද හිමියන්ගේ සිත අමුතු සතුටකින් පිරී ගියේය.
විගස පෑන හා කඩදාසියක් අතට ගත් උන් වහන්සේ ‘දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ යන සිරස්තලය යොදා ‘මුනි සිරිපා සිඹිමින්නේ’ කවි පදයෙන් කවි පෙළක් ඇරඹූහ.
එලෙස පල්ලේගම කෝලාන ගමේ වෙල් යායේ දී ඇරඹි මේ කවි පෙළ පසු දා සුමනාරාමයේ දී ම ලියා අවසන් කෙරිණ.
මේ හෘදයග්‍රාහී ජාතික වීර කාව්‍යයේ උපත සිදු වූයේ එලෙස ය.
එම කාව්‍යයෙන් උපුටා ගත් කවි කිහිපයක් මෙම පාඩමට ඇතුළත් කර
ඇත.
‘ජාතික තොටිල්ල’ දේශාභිමානි කාව්‍යයේ තෝරා ගත් කවි කිහිපයක් මතු දැක්වේ.