සත්ත්ව විවිධත්වය

සත්ත්ව ලෝකය සතුන් මිලියන ගණනකින් සමන්විත වේ. ඔවුන් අතර අතිශය පුළුල් විවිධත්වයක් ඇත.

විවිධ නිර්ණායක පදනම් කර ගනිමින් ඔබ සහ ඔබේ මිතුරන් සතුන් කාණ්ඩවලට වෙන් කරන්නට ඇත. සංචරණ ක්‍රමය, දේහ හැඩය, ශරීර වර්ණය, ශරීර ප්‍රමාණය හා පෝෂණය ලබා ගැනීමේ ක්‍රමය එවැනි නිර්ණායක කිහිපයකි. මේ අනුව සත්ත්වයින් අතර පුළුල් විවිධත්වයක් ඇති බව ඔබට අවබෝධ වන්නට ඇත. මිනිසා ද සත්ත්ව ලෝකයේ එක් සමාජිකයෙකි.

සත්ත්ව ලෝකය තුළ සත්ත්ව විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. මෙම සත්ත්ව විශේෂ නම් කිරීම, හඳුනා ගැනීම පහසු වීම පිණිස මෙන් ම ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා ද සතුන් කාණ්ඩවලට වෙන් කර තිබේ. විවිධ නිර්ණායක පදනම් කරගනිමින් ඔබ සතුන් කාණ්ඩ ගත කළ ආකාරය සිහිපත් කරන්න. පියඹා යෑම යන සංචරණ ක්‍රමය පදනම් කරගෙන සතුන් කාණ්ඩ කිරීමේ දී වවුලා, සමනලයා, කපුටා වැනි සතුන් එකම කාණ්ඩයට වැටේ. එහෙත් එම සතුන්ගේ අනෙකුත් ලක්ෂණ සැලකූ විට විශාල විවිධත්වයක් පෙන්වයි. එබැවින් විද්‍යාත්මකව සතුන් කාණ්ඩ කිරීමේ ක්‍රමයක අවශ්‍යතාවක් මතු වේ.