සමථ භාවනාව වැඩීමට අවශ්‍ය පූර්ව අවශ්‍යතා

භාවනාවට පිවිසෙන තැනැත්තා පහත දැක්වෙන පූර්ව අවශ්‍යතා ඉටුකර ගත යුතු බව ද බුදු දහමෙහි දක්වා ඇත.

කල්‍යාණ මිත්‍ර ආශ්‍රය – කුසලයට මග පෙන්වන, යහපතට යොමු කරන මිතුරන් ඇසුර
සිල්වත් වීම – කය වචනය දෙකෙහි සංවර බව
ධර්ම ශ්‍රවණය – නිතර නිතර ධර්මය ඇසීම
වීර්යය – උත්සාහයෙන්, කැපවීමෙන් ක්‍රියා කිරීම
ප්‍රඥාව – විනිවිද දකින නුවණ යනුවෙනි.

සක්මන් ඉරියව්ව, සිටි ඉරියව්ව, වාඩි වී හිඳීම, වැතිරී සිටීම යන සතර ඉරියව්වෙන් ම භාවනා කළ හැකි වේ. සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර පටන් භාරතීය යෝගීන් අතර භාවිත වූවකි. කාලදේවල හෙවත් අසිත තවුසා උසස් ධ්‍යාන ලාභියෙකි. සිදුහත් බෝසතාණෝ කිං කුසලගවේසී ව සිටි කාලයේ දී හමු වුණු ආලාර කාලාම තවුසා සප්ත සමාපත්ති ලාභියෙකු වූ අතර උද්දකරාම තවුසා අෂ්ට සමාපත්ති ලාභියෙකු විය. සමථ භාවනාව වැඩීමෙන් පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති ලබා ගත හැකි ය. එසේ ම දෛනික ජීවිතයට ද සමථ භාවනාවෙන් ලැබිය හැකි ප්‍රයෝජන රැසකි.

  • ලෝභ, ද්වේශ, මෝහ ආදි කෙලෙස් සිතුවිලි පාලනය වේ
  • ධාරණ ශක්තිය වැඩි වේ
  • පොත පත පාඩම් කිරීමේදී වෙනදාට වඩා පහසුවක් දැනේ
  • සිතෙහි තෘප්තිමත් ස්වභාවයක් ඇති වේ
  • අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇති වේ
  • කායික රෝග පීඩා අඩු වීමෙන් නීරෝගී වේ
  • සිත විසිරී යාමට නොදී එකඟ කර ගැනීමට උපකාරී වේ