ස්වාභාවික භෞමික පරිසර පද්ධති

ශ්‍රී ලංකාවේ ස්වාභාවික භෞමික පරිසර පද්ධති ආශ්‍රිතව පුළුල් ජෛව විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකි ය.
ස්වාභාවික භෞමික පරිසර කිහිපයක විවිධත්වය පිළිබඳව තොරතුරු පහත දැක්වේ.

වනාන්තර

තෙත් වර්ෂා වනාන්තර (නිවර්තන වැසි වනාන්තර/තෙත් සදාහරිත වනාන්තර)

● වර්ෂාපතනය වසර පුරා ම පවතින උෂ්ණ තෙත් දේශගුණයක් ඇත.
● වාර්ෂික වර්ෂාපතනය 2 000 mm ට වඩා ඉහළ ය.
● ඛනිජ ප්‍රතිචක්‍රීකරණය විශාල ලෙස සිදු වේ.
● මුහුදු මට්ටමේ සිට 900 m දක්වා ප්‍රදේශවල පිහිටයි.
● හොර, කීන, මිල්ල, හල්මිල්ල හා නැදුන් වැනි ආර්ථික වටිනාකමින් වැඩි ශාක බහුල ය.
● 40 m පමණ උසින් යුක්ත ඝනව වැඩුණු ශාක පිහිටයි.
● ශාකවල මුදුන් ස්තරීභවනය වී ඇත. ශාක මත අපිශාක හා ආරෝහක ශාක බහුල ය.
නිදසුන් :- සිංහරාජ වනාන්තරය, කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය වන සංකීර්ණය

12.21 රූපය – තෙත් වර්ෂා වනාන්තර වනාන්තර

සුවිශේෂ වැදගත්කම

● ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලව වෙසේ.
● රටක ජල සම්පත සුරකින සුවිශේෂ පරිසරයක් ලෙස සැලකිය හැකි ය.
● ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරයි.

කඳුකර වනාන්තර

● මුහුදු මට්ටමේ සිට 900 m ට වඩා ඉහළ ප්‍රදේශවල පිහිටයි.
● වාර්ෂික වර්ෂාපතනය 4 000 mm පමණ වේ.
● අධික සුළං සහිත නිසා ශාක කුරු ය. ඇඹරුණු කඳන් සහිත ය. පත්‍ර කුඩා ය. මුදුන් පැතලි වී ඇත.
● වල්සපු, වෙරළු, මිහිරිය, දං හා කීන යන ශාක විශේෂ ද, වඳුරා, උණහපුළුවා, දඩුලේනා, ගෝනා යන සත්ත්ව විශේෂ ද දැකිය හැකි ය.
නිදසුන් :- හග්ගල, නකල්ස් ඉහළ ප්‍රදේශ

12.22 රූපය – කඳුකර වනාන්තර

සුවිශේෂ වැදගත්කම

● ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලව වෙසේ.
● ජල පෝෂක ප්‍රදේශ වන අතර ජල මූලාශ්‍ර බොහොමයක් ආරක්ෂා කරයි.
● පාංශු ඛාදනය අවම කරයි.

වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර (මෝසම් වනාන්තර)

● වඩාත් ශුෂ්ක නොවන (වියළි කලාපීය) ප්‍රදේශවල දක්නට ලැබේ.
● වාර්ෂික වර්ෂාපතනය 1 200 පප සිට 1 900 පප පමණ වේ.
● මැයි සිට සැප්තැම්බර් දක්වා දිර්ඝ නියං සමයක් පවතී.
● සදාහරිත මෙන් ම පතනශීල ශාක මෙම වනාන්තරවල දැකිය හැකි ය.
නිදසුන් :- වස්ගමුව, යාල, විල්පත්තු

12.23 රූපය – මෝසම් වනාන්තර

සුවිශේෂ වැදගත්කම

● පළු, බුරුත, වීර, කෝන්, කළුවර, වෙළං, කොළොං, කළුමැදිරිය, හල්මිල්ල, කොහොඹ වැනි දැවමය වටිනාකමින් යුත් ශාක බහුල ය.
● මුවන්, වඳුරන්, දිවියන්, වලසුන්, දඬුලේනන් ආදී සතුන් මෙන් ම අලි ඇතුන් ද දැකිය හැකි ය.
● වියළි කලාපයේ ජලාශවල ජල පෝෂක ලෙස ක්‍රියා කරයි.

කටු පඳුරු හා ලඳු කැලෑ

● වාර්ෂික වර්ෂාපතනය 1 250 mm ට වඩා වැඩි වන අතර උෂ්ණත්වය 34 0C වැඩි වැඩි ය.
● මෙම ප්‍රදේශ අර්ධ ශුෂ්ක කලාප ලෙස සැලකේ.
● පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන පරිදි පත්‍ර කුඩා වීම, පත්‍ර මාංසල වීම, පත්‍ර සංඛ්‍යාව අඩුවීම, කඳේ ජලය තැන්පත් වීම, කටු සහිත වීම, කිරි සහිත වීම වැනි අනුවර්තන සහිත ය.
● නවහන්දි, පතොක්, දළුක්, කනේරු, අන්දර, එරමිණියා, කෝමාරිකා වැනි ශාක දැකිය හැකි ය.
නිදසුන් :- හම්බන්තොට, පුත්තලම හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල දක්නට ලැබේ.

12.24 රූපය – කටු පඳුරු හා ලඳු කැලෑ

තෘණ බිම්

ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාපවල දැකිය හැකි තෘණ බිම් පිළිබඳව තොරතුරු පහත දැක්වේ.

තෙත පතන බිම්

● මුහුදු මට්ටමේ සිට 2 000 m පමණ ඉහළින් පිහිටයි. අධික වර්ෂාපතනයක් සහිත ය.
● සාමාන්‍යයෙන් වනාන්තරවලට යාබදව පවතී. තෘණ වර්ග හැරුණු විට තනිව වැඩෙන ගස් වර්ග ද පවතී. මහරත්මල් ඒ අතරින් ප්‍රමුඛ ශාකය වේ. ඒවා මත උස්නියා නම් ලයිකනය ද වැඩේ. ටෙරීඩියම් නම් පර්ණාංගය ද දැකිය හැකි ය.
නිදසුන් :- හෝර්ටන් තැන්න, බෝපත්තලාව, බගවන්තලාව

12.25 රූපය – තෙත පතන බිම්

වියළි පතන බිම්

● තෙත් පතනවලට වඩා ව්‍යාප්තව පවතී.
● මානා නැමැති තෘණ වර්ගය බහුලව ඇත. මිටියාවත් හා කඳු බෑවුම්වල ඇති කුඩා වනාන්තර හැරුණු විට අනෙක් ප්‍රදේශ තෘණවලින් පමණක් වැසී ඇත.
● බොහෝවිට නියං සමයේ ගින්නට හසුවීමෙන් තණකොළ පිළිස්සේ. මේ නිසා පොළොව නිරාවරණය වී වැසි කාලයේ දී ඛාදනයට ලක් වේ.
නිදසුන් :- ඌව ද්‍රෝණිය, රක්වාන

12.26 රූපය – වියළි පතන බිම්

දමන

● හේන් ගොවිතැනේ ප්‍රතිඵලයක් ලෙස පහතරට වියළි කලාපයේ හමුවන තණබිම් විශේෂයකි.
● මානා, ඉලුක්, බට වැනි තෘණ වර්ග ද දිවුල්, පලු, මයිල, මාදං වැනි ශාක ද බහුල ය.
● අලි ඇතුන් වඩාත් ප්‍රිය කරන පරිසර වේ.
නිදසුන් :- විල්පත්තුව, මාදුරු ඔය, වැලිකන්ද

12.27 රූපය – දමන

තලාව

● හේන් ගොවිතැනේ ප්‍රතිඵලයක් ලෙස පහතරට තෙත් කලාපයේ හමුවන තණබිම් විශේෂයකි.
නිදසුන් :- හල්දුම්මුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ හා මාතර දිස්ත්‍රික්කයේ දක්නට ලැබේ.

12.27 රූපය – තලාව

විවිධ නිර්ණායක අනුව ශ්‍රී ලංකවේ භෞමික පරිසර පද්ධති වර්ගීකරණය කර ඇත. ඒ පිළිබඳ අවබෝධය ලබා ගැනීමට 12.2 පැවරුමෙහි නිරත වන්න.

මූලාශ්‍රය – ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය – පාසල් මුද්‍රණය – මිනින්දෝරු දෙපාර්තමේන්තුව