සිදුහත් කුමරුගේ ළමා කාලය හා යොවුන් විය

බෝසත් කුමරුගේ උපත පිළිබඳ පුවත මුළු කිඹුල්වත් පුරයේ ම පැතිර ගියේ ය. ඒ ගැන රට වැසියෝ ඉමහත් සතුටට පත් වූහ.

සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා වූ අසිත හෙවත් කාලදේවල තවුසා මේ පුවත දැන ගත් කල්හි කුමරු දැකීමට මාලිගයට පැමිණියේ ය. රජතුමා පුත් කුමරු රැගෙන ගුරුවරයා වන්දවා ආශීර්වාද ගැනීමට ආ විට එම කුමරාගේ සිඟිති දෙපා අසිත තවුසාගේ ජටාව මත පිහිටියේ ය. එවිට තවුසාණෝ පළමු ව සිනා සී දෙවනු ව ඇඬූහ. එසේ කළේ මන්දැ යි රජතුමා ඇසූ විට තාපස තුමෝ මෙසේ පැවසූහ.

“රජතුමනි, මේ කුමරු ඒකාන්තයෙන් ම බුදු වෙනවා. එබැවින් මම සිනාසුණෙමි. කුමරු බුදු වන්නට පෙර මා මිය යන බැවින් හැඬුවෙමි.”

පසු ව අසිත තවුසා පුංචි කුමරුට දොහොත් මුදුන් දී වැන්දේ ය. එය දුටු සුදොවුන් රජතුමා ද පුත් කුමරුට වැන්දේ ය. මෙය තම පුතුට පිය රජතුමාගේ පළමු වැඳුම ය.

එකල දඹදිව පැවති සිරිත අනුව දරුවකු බිහි වී පස් වන දිනයෙහි නම් තැබීමේ උළෙල පැවැත්වෙයි. බෝසත් කුමරුගේ නම් තැබීමේ මංගල්‍යයට පඬිවරු 108ක් කැඳවන ලදහ. ඒ අතරින් තෝරා ගත් ඉතා උගත් පඬිවරුන් අට දෙනාට එම කාර්යය පවරන ලදි. ඉන් සත් දෙනෙක් ම කුමරා ගිහිගෙයි විසුවොත් සක්විති රජකම ලබන බවත් පැවිදි වුව හොත් බුද්ධත්වයට පත් වන බවත් කීහ. එහෙත් වයසින් බාල කොණ්ඩඤ්ඤ නම් බමුණා එක ඇඟිල්ලක් ඔසවා, ‘ශරීර ලක්ෂණ අනුව කුමරා ඒකාන්තයෙන් ම බුදු වන බව’ පැවසී ය. ලොවට යහපතක් හෙවත් අර්ථයක් සිද්ධ කර දෙන බැවින් සිද්ධාර්ථ යැයි නම තැබිය යුතු බව සියලු පඬිවරු තීරණය කළහ.

සිදුහත් උපත සිදු වී සත් දිනකින් මහාමායා දේවිය කලුරිය කළා ය. පුංචි කුමරා හදා වඩා ගැනීම මහාමායා දේවියගේ නැඟණිය වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියට භාර විය. ඇය සිදුහත් කුමරු තමාගේ ම දරුවකු සේ හොඳින් රැක බලා ගත්තා ය.

ශාක්‍ය ජනපදයේ කුඹුරු ගොවිතැන් කරන කාලයේ සී සෑමේ උත්සවයකට එනම් වප් මඟුල් උළෙලකට- රජතුමා සිදුහත් කුමරුන් ද රැගෙන ගියේ ය. කුමරු කිරි මවුවරුන් භාරයට පත් කර රැකවල් යොදා රජතුමා කුඹුරට බැස සී සෑමට එක් විය. ටික වේලාවකින් කිරි මවුවරුන් ද උත්සවය නැරඹීමට මඳක් ඔබ්බට ගිය බව දුටු කුමරා, ආනාපාන සති භාවනාව වඩමින් පලක් බැඳ සිටියේ ය. මේ බව දුටු කිරිමවුවරු වහා ඒ බව රජතුමාට දැනුම් දුන්හ.

ඉන් මහත් පුදුමයටත් සතුටටත් පත් රජතුමා පුත් කුමරුගේ භාග්‍යවන්තකම ගැන සිතා කුමරුට නමස්කාර කළේ ය. මෙය පිය රජුගේ දෙවන වැඳුමයි. මෙම අසිරිමත් සිදුවීම වන විට කුමරුට වයස මාස පහකි. කාලය ගෙවී ගියේ ය. කුමරු කෙළිදෙලෙන් මාලිගාවෙහි වැඩුණි.