අම්ල හා භස්ම හඳුනා ගැනීම

දොඩම්, නාරං, සියඹලා, අන්නාසි වැනි බොහෝ පලතුරුවල ඇඹුල් රසයක් ඇති බව ඔබ අත්දැකීමෙන් දනී. ආහාර රසවත් කිරීමට යොදා ගන්නා විනාකිරි ද, දෙහි, බිලිං තක්කාලි වැනි දේවල් ද ඇඹුල් රස ය. ඒවායේ ඇඹුල් රසට හේතුව අම්ල ලෙස හැඳින්වෙන රසායන ද්‍රව්‍යයක් ඒවා තුළ අන්තර්ගත වීමයි.

මී මැස්සකු දෂ්ට කළ විට ආප්ප සෝඩා ආලේප කරයි. ආමාශයේ ඇතිවන ගැස්ට්‍රයිටිස් හෙවත් බඩේ දැවිල්ලට, මිල්ක් ඔෆ් මැග්නීසියා පෙති විකා ගිලියි. පසෙහි ආම්ලිකතාව අඩුකිරීමට පසට හුනු එකතු කරයි. අම්ල නිසා ඇතිවන අහිතකර තත්ත්ව සමනය කිරීමට හුනු, ආප්පසෝඩා, මිල්ක් ඔෆ් මැග්නීසියා යොදා ගත හැකි වූයේ ඒවායේ අඩංගු භස්ම ලෙස හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක් නිසා ය. සබන් වැනි ලිස්සන සුළු ස්වභාවයකින් යුක්ත වීම භස්මවල ලක්ෂණයකි.

ජලය, මද්‍යසාර, ලුණු ද්‍රාවණය, භූමිතෙල් වැනි දේවල් අම්ල හෝ භෂ්මවල ගුණ නොදක්වයි. එවැනි ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලබයි.