ජීවක කියන්නේ බුද්ධ කාලයේ හිටපු දක්ෂ වෛද්‍යවරයෙක්. වෙදකම ඉගෙන ගත්තේ තක්ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගෙන්. ඉගෙනීම අවසන් කොට තම නුවරට එන අතරමඟ දී සාකේත නුවර සිටුතුමාගේ දේවියගේ කාලයක පටන් පවත්නා හිසේ අමාරුවක් ගැන එතුමාට දැන ගන්න ලැබුණා. තරුණ ජීවක වෙදැදුරුතුමා මේ ආරංචිය ගැන සැලකිලිමත් වුණා. එතුමා කල්පනා කළා මේ තුළින් තමන් ඉගෙන ගත් ශාස්ත්‍රය අත්හදා බැලීමටත්, නිවසට යන විට කිසි යම් ධනයක් උපයාගෙන යෑමටත් පුළුවන් බව. ඒ නිසා සිටු දේවියට ප්‍රතිකාර කිරීමට තීරණය කරලා, එතුමා සිටු මාලිගයට ගියා.
සිටු දේවිය මේ ළාබාල වෛද්‍යවරයා ගැන මුලින් එතරම් පැහැදීමක් ඇති කර ගත්තේ නැහැ. ඊට හේතුව මීට පෙර වයසින් මුහුකුරා ගිය දක්ෂ වෛද්‍යවරුන් සිටු දේවියගේ රෝගය පරීක්ෂා කර බලා විවිධ ප්‍රතිකාර ලබා දුන්නත් සුව නොවීමයි. එනමුත් සිටු නිවසට පැමිණි මේ වෛද්‍යවරයාගේ ඉල්ලීම මත ප්‍රතිකාර කිරීමට අවසරය ලබා දුන්නා. වෛද්‍යතුමා රෝගියා පරීක්ෂා කොට සුවපත් කිරීම සඳහා ගිතෙල් ටිකක් අවශ්‍ය බව දැනුම් දුන් විට සේවිකාවක් එය ලබා දුන්නා. ජීවක වෙදැදුරුතුමා තමා සතු ව ඇති බෙහෙත් ද මෙම ගිතෙල්වලට එකතු කොට සාදා ගත් බෙහෙත සිටු දේවියට නශ්‍ය කළා. නශ්‍ය කිරීමේ දී ගිතෙල් ටිකක් බිමට වැටුණා. ඒ අවස්ථාවේ රෝගී සිටු දේවිය සේවිකාවකට කථා කළා. පුළුන් කෑල්ලකට එම ගිතෙල් ටික රැගෙන ආරක්ෂිත ව තබන ලෙස නියම කළා.
එය දුටු ජීවක වෛද්‍යවරයා සිටුදේවිය පිළිබඳ කලකිරීමක් ඇති කර ගත්තා. ඔහු සිතුවේ මැය දැඩි ලෝභී මසුරු තැනත්තියකැයි කියලයි. වෛද්‍යවරයාගේ බෙහෙතින් ඇගේ හිසේ රුදාව සුව වී බොහෝ සතුට ට පත් වුණා. විශාල ධනයක් පරිත්‍යාග කළා. ඔහුට ස්තුති කළා. ඒ සමඟ ම මෙහෙම ප්‍රකාශයකුත් කළා.
“වෛද්‍යතුමනි, බිමට වැටුණු තෙල් සේවිකාවක ලවා පුළුන් කෑල්ලකට රැගෙන පරිස්සම් කරන ලෙස උපදෙස් දුන් විට මම ලෝභී අයෙකු ලෙස වටහා ගත්තා නේද? නැහැ, වෛද්‍යතුමනි අපි ගිහි ගෙවල්වල ඉන්න අයනෙ. සම්පත්වල ආරක්ෂාව ගැන නිතර හිතනවා. අනවශ්‍ය ලෙස සම්පත් භාවිත කිරීමටත්, ඒවා ප්‍රයෝජනයට නොගෙන විනාශ වෙලා යනවා දකින්නටත් මම කැමති නැහැ. නශ්‍යයේ දී බිමට වැටුණු ගිතෙල් ටිකෙන් වුවත් බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. එය ඇතැම් විට පහනක් දැල්වීමට භාවිත කරන්න පුළුවන්. කනේ අමාරුවක් හැදුණොත් භාවිතයට ගන්නත් පුළුවන්. දුප්පත් අසරණ අයෙකුගේ අතේ පයේ ගෑමට තෙල් බිංදුවක් ඉල්ලා සිටියොත් ලබා දෙන්නත් පුළුවන්.
යනුවෙන් සිටු දේවිය තරුණ ජීවක වෛද්‍යවරයාට සම්පත් භාවිතය පිළිබඳ ව වටිනා උපදේශයක් ලබා දුන්නා.