උපන්දින උත්සව

උපන් දිනය සමරා වාර්ෂික ව උත්සවයක් පැවැත්වීම බොහෝ අය සිදුකරති. සෙත්පිරිත් දේශනා, බෝධිපූජා, බුද්ධ පූජා පැවැත්වීම, මහා සංඝ රත්නයට දන්පැන් පිරිනැමීම මෙහි දී සිදු කිරීම උසස් චාරිත්‍ර වේ. උපන් දිනයේ දී දරුවා ගමේ විහාරස්ථානයට රැගෙන ගොස් තුනුරුවන් වන්දනා කර දෙවියන්ට පිං අනුමෝදන් කරවා ආශීර්වාද ලබා ගැනීම සිංහල බෞද්ධ පිළිවෙළ ය. එබඳු අවස්ථාවල දී කන්ද උඩරට ජනතාව ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා හාමුදුරුවන් වැඳ පුදා ගැනීම සිදු කරති. එසේ ම රජරට ප්‍රදේශයේ ජනතාව ජයසිරි මහ බෝ සමිඳුන්, අටමස්ථාන මෙන් ම ඒ ඒ ප්‍රදේශවල ප්‍රසිද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමට ද යොමු වෙති. එයින් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමත්, නිදුක් නීරෝගී සුවය මෙන් ම දීර්ඝායුෂ ලබා ගැනීමත් බලාපොරොත්තු වෙති.