කාබනික ගොවිතැන

කෘෂිකාර්මික ක්‍රියාවලිය

කාබනික ගොවිතැන

කෘෂිකාර්මික පරිසර පද්ධතියේ යහපැවැත්ම, පාංශු ජෛව ක්‍රියාකාරීත්වය, ජෛව විවිධත්වය, සහ ජීව විද්‍යාත්මක චක්‍ර වැඩි දියුණු කරවන නිෂ්පාදන ක්‍රියාවලිය කාබනික ගොවිතැන ලෙස හැඳින්වේ.

කාබනික ගොවිතැනේ ප්‍රධාන අංගයක් ලෙස කාබනික පොහොර භාවිතය දැක්විය හැකි ය. වගා බිමක පසේ ඇති පෝෂක ලබා ගෙන සෑදෙන අස්වැන්න වගා බිමෙන් ඉවත් කර ගන්නා නිසා පසෙහි පෝෂක ඌනතාවක් ඇති වේ. මේ හේතුවෙන් පසට පිටතින් පෝෂක ලබා දිය යුතු ය. එය පොහොර යෙදීම මගින් සිදු කරයි. වර්තමානය වන විට පොහොර ලෙස කෘත්‍රිම ව සකස් කළ ඛනිජ හා කෘත්‍රිම ව සංශ්ලේෂණය කළ රසායනික ද්‍රව්‍ය අඩංගු අකාබනික පොහොර හෙවත් රසායනික පොහොර යෙදීම වැඩි වශයෙන් සිදු වේ. නමුත් මේ වෙනුවට ශාකමය හෝ සත්ත්වමය ද්‍රව්‍ය ස්වාභාවික ක්‍රියාවලිවලට ලක් වී සෑදුණු කොම්පෝස්ට් වැනි කාබනික පොහොර යෙදීම සිදු කළ හැකි ය. අකාබනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයේ වැදගත්කම සම්බන්ධ කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

● අකාබනික පොහොර යෙදීමෙන් වගාවට හිතකර බොහෝ ක්ෂුද්‍ර ජීවීන් මෙන් ම ගැඩවිලන් වැනි විශාල ජීවීන් ද විනාශ වේ. එමගින් පරිසරයේ ස්වාභාවික පැවැත්මට ද බාධා මතු වේ.
● අකාබනික පොහොර අධි මාත්‍ර ලෙස යෙදීමෙන් ඒවා ශාක නිෂ්පාදන ඔස්සේ මිනිසාට බලපෑම් ඇති කරයි. ඒවායේ අඩංගු ඇතැම් බැර ලෝහ වර්ග මිනිසාගේ දේහයට ඇතුළු වී අහිතකර විපාක ගෙන දේ.
● කාබනික පොහොර භාවිතයේ දී පුළුල් පරාසයක පෝෂක පසට එක් වුව ද අකාබනික පොහොර මගින් ලබා දිය හැක්කේ නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, සල්ෆර් වැනි පෝෂක කිහිපයක් පමණි.
● කාබනික පොහොර සඳහා විශාල මුදලක් වැය කළ යුතු නැත. ඒවා ඉවත ලන සත්ත්ව කොටස් මෙන් ම ශාක කොටස් වන පිදුරු, කොළරොඩු, දහයියා, ලී කුඩු යනාදියෙන් අපට ම නිෂ්පාදනය කරගත හැකි ය.
● කාබනික ගොවිතැනෙන් ලබාගන්නා සහල්, එළවළු, පලතුරු හා පලා වර්ග සඳහා වර්තමාන ශ්‍රී ලංකාවේ දැනුමැති ජනතාව අතර වැඩි ඉල්ලුමක් පවති. මේ නිසා ඒවා වගා කරන ගොවීන්ට මෙන් ම අලෙවි කරන වෙළඳුන්ට වැඩි ආදායමක් ලබාගත හැකි ය.
● කාබනික පොහොර භාවිතය නිසා කාලයක් සමඟ පසේ ව්‍යුහය වැඩි දියුණු වේ.

කාබනික ගොවිතැනේ තවත් අංගයක් ලෙස පළිබෝධ පාලනය සඳහා සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම භාවිත කිරීම හඳුන්වා දිය හැකි ය. වර්තමානයේ පළිබෝධ පාලනය සඳහා යොදාගන්නා පළිබෝධ නාශක උග්‍ර විෂ සහිත කෘත්‍රිමව සංශ්ලේෂණය කළ රසායනික ද්‍රව්‍ය වේ. වල් නාශක, කෘමි නාශක හා දිලීර නාශක මෙයට අයත් වේ. මෙම පළිබෝධ නාශක භාවිතය තුළින් ඇගයීමට ලක් කළ නොහැකි ආකාරයේ හානියක් පරිසරයට සිදුවන අතර ඒ වෙනුවට සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම යොදා ගැනීම තුළින් එය වළක්වා ගත හැකි ය. මේවා ජීව විද්‍යාත්මක ක්‍රම හෝ යාන්ත්‍රික ක්‍රම හෝ ආගමික පිළිවෙත් විය හැකි ය. පළිබෝධ පාලනය සඳහා යොදා ගන්නා සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.

● පළිබෝධයින්ගේ බිත්තර හෝ කීට අවධි විනාශ කර දමන වෙනත් ජීවී කාණ්ඩ බෝ කර හැරීම.
● කෘමි විකර්ෂක ද්‍රව්‍ය (දහස් පෙතියා මල්, කොහොඹ ඇට යුෂ, පැඟිරි ශාක) යොදා ගෙන පළිබෝධ මර්දනය කිරීම.
● ජලය (වියළිව තැබීම හෝ ජලය පුරවා තැබීම) මගින් පළිබෝධ ව්‍යාප්තිය පාලනය.
● වගා බිම හානිකර කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට රාත්‍රි කාලයේ වගා බිමේ පහනක් දැල්වීම. එවිට කෘමීන් ඒ වෙත ඇදී පිලිස්සී මිය යයි. මේ නිසා මෙය ආලෝක උගුලක් ලෙස හැඳින්වේ.
● කුඹුරට බිත්තර වී ඉසීමෙන් පසු ඒවා කුරුල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වක්කඩේ පහළින් දිය හොල්මනක් සාදයි. එවිට එයින් නැගෙන ශබ්දය නිසා කුරුල්ලන් පලා යයි.
● ගොයම මීයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පොල් ලෙල්ලක් බැගින් සවි කළ ලී දඩු කුඔුරේ තැනින් තැන සිටුවයි. එවිට බකමූණන් වැනි පක්ෂීන් ඒ මත වසා සිට මීයන් දඩයම් කරයි.
● කලින් කලට වගා කරන බෝග ප්‍රභේද මාරු කිරීමෙන් පළිබෝධයින් වගා බිමෙහි ස්ථාපනය වීම වළකි.

ශ්‍රී ලාංකේය සමාජයේ දිගු කාලයක් පැවත ආ ගොවිතැන පිළිබඳ සාම්ප්‍රදායික දැනුම නොසලකා හැරීමත්, නවීන විද්‍යාත්මක දැනුමින් සන්නද්ධ නොවීමත් යන හේතු නිසා අසීමිතව රසායන ද්‍රව්‍ය භාවිත කර සිදු කරන වර්තමාන කෘෂි කර්මාන්තයේ අතුරු ඵල ලෙස නිදන්ගත වකුගඩු රෝගය වැනි ව්‍යසනවලට මුහුණ දීමට ගොවින්ට සිදු වී ඇත. මෙයට අමතරව චර්ම රෝග, ස්නායු රෝග වැනි ආබාධ ද සුලබ වේ.