නව නිවසක් ඉදිකොට එහි පදිංචිය ආරම්භ කිරීම මේ නමින් හඳුන්වනු ලැබේ. මෙය ගෙවැදීම යනුවෙන් ද ව්‍යවහාර කෙරේ. බුද්ධකාලීන ව ද ඇතැම් බෞද්ධයන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩමවා දන් පිරිනමා ආශීර්වාද ලබා ගෙන නව නිවස පරිහරණය කිරීම ඇරඹූ බව සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ. තුනුරුවන් හැර වෙනත් පිහිටක් නැත යයි සලකා මෙරට බෞද්ධයෝ පෙර පටන් ම මෙම සිරිත අනුගමනය කරති. පළමු ව නිවස මනා ව පිරිසිදු කොට සුවඳ දුම් අල්ලා කිරි උතුරවනු ලැබේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙනුවට සධාතුක කරඬු වහන්සේ පෙරටු කොට ගත් මහා සංඝ රත්නය පුද පෙරහැරින් වැඩමවාගෙන අවුත් පා ධෝවනය කොට පනවන ලද අසුන් මත වඩා හිඳුවා දන්පැන් පිරිනමනු ලැබේ. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා තුනුරුවනේ ආශීර්වාදය ලබා ගන්නා අතර ඇතැම් අය සෙත් පිරිතකින් ආශීර්වාදය ලබා ගැනීමට පුරුදු වී සිටිති. පින්කම අවසානයේ දෙවියන්ටත් මිය ගිය ඥාතීන්ටත් පිං අනුමෝදන් කරවීම ඔවුන්ගේ ද ආශීර්වාදය ලබා ගැනීමට උපකාරී වන බව බෞද්ධ පිළිගැනීම ය. ඉන්පසු නව නිවසට පැමිණි ඥාති හිතමිතුරන්ට බත බුලතින් සංග්‍රහ කිරීම සිදුකෙරේ. එහි දී මද්‍යසාර භාවිතයක් සිදු නොවේ.