ඔබගේ පොත් බෑගයේ කර පටිය ඉතා සිහින් වන විට කරට දැඩි අපහසුතාවක් දැනෙන බවත්, කර පටිය පළල් වන විට අපහසුතාව අඩු වන බවත්, ඔබ අත්දැක ඇතුවාට සැකයක් නැත.
බරින් සමාන පොත් බෑග් දෙකෙන්, එකක ඇත්තේ සිහින් කර පටියකි. අනෙකෙහි කර පටිය පළල් ය. කර පටිය සිහින් වූව ද, පළල් වූව ද, පොත් බෑගයේ බර නිසා ඇති වන බලය සමාන ය. නමුත් පටිය සිහින් වන විට කරෙහි ස්පර්ශ වන වර්ගඵලය අඩු වන අතර, පටිය පළල් වන විට ස්පර්ශ වර්ගඵලය වැඩි ය.
බලය එක ම වූව ද, පටියේ වර්ගඵලය වෙනස් වන විට කර මත දැනෙන තෙරපුම වෙනස් වන බව මෙයින් පෙනී යයි.
බෑග් දෙකට ම දමා ඇති පොත් ගණන වැඩි කරන විට කර මතට දැනෙන තෙරපුම වැඩි වන බව ද ඔබ අත්දැක තිබෙන්නට ඇත.
මෙහි දී සිදු වන්නේ බෑගයේ බර නිසා ඇතිවන බලය කර මත පිහිටන පටි කොටසේ වර්ගඵලය පුරා බෙදී යාමයි. කර මතට දැනෙන තෙරපුම, මෙසේ බෙදීගිය බලය යි. පටියේ පළල වැඩිවන විට එම බලය වැඩි වර්ගඵලයක් පුරා බෙදී යන නිසා කර මතට දැනෙන්නේ අඩු තෙරපුමකි. මෙවැනි අවස්ථාවල දී ඒකක වර්ග ඵලයක් මත යෙදෙන බලය දැනගැනීම අපට ප්රයෝජනවත් වේ.
පීඩනය නමින් හඳුන්වන්නේ ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්බව යෙදෙන බලය යි.