ජෛව විවිධත්වය

පරිසර අධ්‍යයනය සඳහා ඔබ සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකා පිළිබඳව සිහිපත් කරන්න. එම චාරිකාවල දී ඔබ විවිධ පරිසර පිළිබඳ විවිධ අත්දැකීම් ලබන්නට ඇත. මුහුදු වෙරළ, කඩොලාන පරිසර, වනාන්තර, මෝසම් වනාන්තර සහ තණබිම් එවැනි පරිසර කිහිපයකි. යම් පරිසරයක වෙසෙන සියලු ම ජීවීන් ද ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය ද (පස, වාතය, ජලය) එක්ව ගත් කල එය පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ. පරිසර පද්ධති කිහිපයක් දැක්වෙන 12.1 රූපය හොඳින් අධ්‍යයනය කරන්න.

12.1 රූපය – පරිසර පද්ධති කිහිපයක්

විවිධ පරිසර පද්ධතිවල වෙසෙන සතුන් හා ශාක විවිධ වේ. එම පරිසර පද්ධතිවල භෞතික පරිසරය ද, දේශගුණික සාධක ද එකිනෙකට වෙනස් ය. මෙලෙස පරිසර පද්ධති අතර පවතින විවිධත්වය පරිසර පද්ධති විවිධත්වය ලෙස හැඳින්වේ.

පරිසර පද්ධතිවල වෙසෙන ජීවීන් පිළිබඳව මදක් සිතා බලන්න. පරිසර පද්ධති තුළ සත්ත්ව හා ශාක විශේෂ මෙන් ම ක්ෂුද්‍රජීවී විශේෂ ද රාශියක් ජීවත් වේ. එම ජීවී විශේෂ සැලකූ විට දේහ හැඩය, ප්‍රමාණය, පෝෂණ රටා, ප්‍රජනන ක්‍රම ආදී ලක්ෂණවල විශාල විවිධත්වයක් දැකිය හැකි ය. ජීවී විශේෂ අතර පවතින විවිධත්වය විශේෂ විවිධත්වය ලෙස හැඳින්වේ.

12.2 රූපය – ජීවී විශේෂ කිහිපයක්

පරිසර පද්ධතියක විශේෂ විවිධත්වය හඳුනා ගැනීමට 12.1 පැවරුමෙහි නිරත වෙමු.

එක ම විශේෂයකට අයත් ජීවීන් තුළ වෙනස්කම් තිබේ ද? ඒ පිළිබඳව සොයා බැලීමට 12.1 ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.

නූතන මානවයා Homo sapiens sapiens විශේෂයට අයත් වේ. එම විශේෂය සැලකූ විට එම විශේෂයට අයත් ජීවීන් තුළ පවා විවිධ වෙනස්කම් ඇති බව ඉහත ක්‍රියාකාරකම අනුව ඔබට අවබෝධ වන්නට ඇත.
මානවයන් තුළ ඇති විවිධ වෙනස්කම් 12.3 රූපයෙන් ද අවබෝධ කර ගත හැකි ය.
ජීවී විශේෂයක් තුළ පවතින මෙම වෙනස්කම්වලට හේතුව ජාන විවිධත්වය යි. ජාන පිළිබඳව ඔබට 10, 11 ශ්‍රේණිවල දී අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබේ.

12.3 රූපය – Homo sapiens sapiens විශේෂයට අයත් විවිධ ලක්ෂණ සහිත මානවයින්

ජීවීන් වෙසෙන පරිසර පද්ධති, විවිධත්වයකින් යුක්ත වේ. ජීවී විශේෂ අතර ද විවිධත්වයක් පවතී. එමෙන් ම එක ම විශේෂයේ ජීවීන් අතර ද විවිධ වෙනස්කම් ඇති බව ඔබට අවබෝධ වන්නට ඇත. පරිසර පද්ධති විවිධත්වය, ජීවී විශේෂ විවිධත්වය හා ඔවුන්ගේ ජාන අතර විවිධත්වය පොදුවේ ගත් කල ජෛව විවිධත්වය ලෙස හැඳින්විය හැකි ය.