තාපය හා උෂ්ණත්වය

උෂ්ණත්වය මැනීම

දිවා කාලයේ දී සූර්ය තාපය නිසා උණුසුම් වන පරිසරය රාත්‍රී කාලයේ දී සිසිල් වේ. උණුසුම සිසිල යනු අපට දැනෙන සංවේදන දෙකකි.
උණුසුම හා සිසිල පිළිබඳ ව තව දුරටත් සොයා බැලීමට 14.1 ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

බඳුන්වල ඇති ජලයෙහි උණුසුමෙහි වෙනසක් ඇති බව ඔබට දැනෙනු ඇත. ඇල් ජලයට වඩා උණු ජලයෙහි ඇති වෙනස කුමක් ද? ජලය රත් කර ගැනීමේ දී එම ජලයට තාපජ ශක්තිය ලැබීම නිසා ජලය උණුසුම් වී ඇත.
යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය අඩු වන්නේ (සිසිල් වන්නේ) එම ද්‍රව්‍යයෙන් තාපජ ශක්තිය ඉවත් වී යාම නිසා ය.
යම් ද්‍රව්‍යයක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුම උෂ්ණත්වය ලෙස හඳුන්වයි.

ස්පර්ශ සංවේදනයෙන් උෂ්ණත්වය මැනීම නිවැරදි නොවේ. උෂ්ණත්වය නිවැරදිව මැනීම පිළිබඳ අවබෝධය ලබා ගැනීමට 14.2 ක්‍රියාකාරකම සිදු කරමු.

උණු ජල බඳුනෙහි තබන ලද කුප්පියෙහි පෑන් බටය තුළින් ද්‍රව මට්ටම ඉහළ යනු නිරීක්ෂණය කළ හැකි ය.
සිසිල් ජල බඳුනෙහි තබන ලද කුප්පියෙහි පෑන් බටය තුළින් ද්‍රව මට්ටම පහළ යනු නිරීක්ෂණය කළ හැකි ය.

මේ අනුව උෂ්ණත්වය වැඩි වන විට බීකරයේ ඇති ජලයෙන් කුප්පියේ ඇති ජලය වෙත තාපය ගමන් කරන අතර කුප්පියේ ඇති ජලය රත් වී ප්‍රමාණයෙන් (පරිමාව) වැඩි වේ. එවිට පෑන් බටය තුළ ද්‍රව මට්ටම ඉහළ නගී. සිසිල් ජල බඳුනේ තැබූ විට කුප්පියේ ඇති ජලය සිසිල් වී පරිමාව අඩු වේ. (සංකෝචනය වේ) එවිට පෑන් බටය තුළ ඇති ද්‍රව මට්ටම පහළ බසී.

මෙසේ ද්‍රවයක් රත් කළ විට තාපය ලැබීම නිසා ස්කන්ධය වෙනස් නොවී ප්‍රමාණයෙන් (පරිමාවෙන්) වැඩි වීම ද්‍රවයක ප්‍රසාරණය ලෙස හඳුන්වයි.

උෂ්ණත්වමාන සකස් කිරීම සඳහා භාවිත කර ඇත්තේ ද්‍රවයක තාපය නිසා වෙනස් වන ප්‍රසාරණ ගුණයයි. පාට කළ ජලය වෙනුවට පොල්තෙල් හා මද්‍යසාර වැනි ද්‍රව කිහිපයක් යොදා ගෙන ක්‍රියාකාරකම 14.2 සිදුකර බලන්න. විවිධ ද්‍රව වල ප්‍රසාරණය එකිනෙකට වෙනස් බව අවබෝධ කර ගත හැකි ය. උෂ්ණත්වය නිවැරදිව හා ප්‍රමාණාත්මකව මැනීම සඳහා උෂ්ණත්වමාන භාවිත කරනු ලැබේ.