දිග, උස, පළල, ගැඹුර සහ ගනකම, දිගක් ලෙස හඳුනා ගැනීම

ඉහත තොරතුරු, අපට එදිනෙදා කටයුතුවල දී අසන්නට, දකින්නට ලැබේ. ඒ සෑම අවස්ථාවක දී ම යම් අන්ත දෙකක් අතර සරල රේඛීය දුරක් දක්වා ඇත. එසේ දක්වා ඇති සරල රේඛීය දුර, දිගක් ලෙස හැඳින්වේ. ඒ අනුව උස, ගැඹුර, ගනකම සහ පළල වැනි වචනවලින් දැක්වෙන්නේ ද දිගකි.
තව ද, පොතක දිග, පළල සහ ගනකම වැනි වචනවලින් කියවෙන්නේ පොත ආශ්‍රිත දිගවල් වේ.

දිග මැනීමේ උපකරණ හා ඒකක

දිග මැනීම සඳහා භාවිත කරන උපකරණ කිහිපයක රූප සටහන් පහත දැක්වේ.

ඔබ ළඟ ඇති 15 cm කෝදුව නිරීක්ෂණය කරන්න.
එහි සමාන දුරින් පිහිටි දිගු ඉරි දහසය 0, 1, 2, 3,….., 15 යන ඉලක්කම්වලින් සලකුණු කොට ඇත. එක ළඟ පිහිටි දිගු ඉරි 2ක් අතර දුර කෙටි ඉරි මගින් සමාන කොටස් 10කට බෙදා ඇත.
එහි දක්වා ඇති එක ළඟ පිහිටි දිගු ඉරි දෙකක් අතර දුර සෙන්ටිමීටර එකකි.
එක ළඟ පිහිටි කෙටි ඉරි දෙකක් අතර දුර මිලිමීටර එකකි.
එනම්,

සෙන්ටිමීටර 1ක් මිලිමීටර 10කි.
සෙන්ටිමීටර එක, 1 cm ලෙසටත්,
මිලිමීටර එක, 1 mm ලෙසටත් ලියා දක්වයි.
එනම්, 10 mm = 1 cm

මීටර කෝදුවක් හා විවිධ දිගින් යුත් ටේප් පටි සපයා ගෙන ඒවා නිරීක්ෂණය කරන්න. එම උපකරණවල ද 15 cm කෝදුවේ පරිදි 0, 1, 2, … ආදි වශයෙන් සංඛ්‍යා හා ඉරි කැබලි දක්නට ලැබේ.

මීටර කෝදුවේ සෙන්ටිමීටර කීයක් තෙක් ලකුණු කර ඇත් දැයි හොඳින් බලන්න. එහි සෙන්ටිමීටර 0 සිට සෙන්ටිමීටර 100 තෙක් ලකුණු කර ඇත. සෙන්ටිමීටර සියයක දිගක් මීටර එකකි.

මීටර එක, 1 m ලෙස ලියා දක්වයි.
එනම්, 100 cm = 1 m
මීටර එකක් දිග කෝදුව, මීටර කෝදුව ලෙස හැඳින්වේ.

ටේප් පටියක මීටර කීයක් තෙක් ලකුණු කර ඇත් දැයි නිරීක්ෂණය කරන්න. එවිට විවිධ ප්‍රමාණයේ දිග ඇති, ටේප් පටි ඔබට හඳුනා ගත හැකි වනු ඇත. විශාල දිගක් මැනීමේ දී කිලෝමීටරය යන ඒකකය භාවිත කරනු ලැබේ. මීටර 1000ක දිගක් කිලෝමීටරයකි. කිලෝමීටර එක, 1 km ලෙස ලියා දක්වයි.
එනම්, 1000 m = 1 km

දිග මැනීම

කෝදුව භාවිතයෙන් පැන්සලක දිග මැනීම සඳහා ඒවා තබා ඇති ආකාරය රූපයේ දැක්වේ.

පැන්සලේ කෙළවරක් සරල දාරයේ 0 වෙත යොමු වන පරිදි තබා ඇත. පැන්සලේ තුඩ 7 cm පසු කර කෙටි ඉරි තුනක් ගිය තැනට යොමු වී ඇත. එබැවින් මෙම පැන්සලේ දිග සෙන්ටිමීටර 7ක් සහ මිලිමීටර 3ක් වේ.