අප අවට පරිසරයේ දක්නට ලැබෙන ජීවීන්ගේ විවිධත්වය ජෛව පරිණාමික ක්‍රියාවලියේ ප්රතිඵලයකි. ජෛව පරිණාමය පිළිබඳව හැදෑරීමේ දී විශ්වයේ සම්භවය සහ ජීවයේ සම්භවය සිදු වූ ආකාරය විමසීමට සිදු වේ.
ඈත අතීතයේ දී විශ්වයේ උපත පිළිබඳව විවිධ මත රාශියක් පැවතිණි.
මීට වසර බිලියන 4.5කට පමණ පෙර පෘථිවියේ සම්භවය සිදු වූ බව සැලකේ.
විශ්වයේ උපත පිළිබඳව පවතින විවිධ මත හා වාද අතරින් මුල් ම විද්‍යාත්මක වාදය නෙබියුලා වාදය යි. මෙම වාදයට අනුව, විශ්වයේ විසිරී පවතින ද්‍රව්‍ය අංශු ගුරුත්වාකර්ෂණය නිසා එකට කැටි වීමෙන් චක්‍රාවාට, සූර්යයා සහ අනෙකුත් ග්‍රහලෝක නිර්මාණය වී ඇත.
පෘථිවියේ සම්භවය පිළිබඳව ඉදිරිපත් වූ නූතන වාදයක් ලෙස මහා පිපිරුම් වාදය (Big bang theory) හැඳින්විය හැකි ය. ආරම්භයේ දී විශ්වය අධික ශක්තියක් ගැබ් වූ ශක්ති ප්‍රභවයක් ලෙස සලකන ලද අතර එහි මහා පිපිරුමක් ඇති වූ බව සඳහන් වේ. මෙම පිපිරුමේ දී ඇති වූ විශාල වායු දූවිලි වලාවක්, කැටි ගැසීමට හා විවිධ විපර්යාසවලට ලක් වීමෙන් චක්‍රාවාට රැසක් ඇති වූ බවත් ඉන් කියැ වේ. ක්ෂීරපථය නම් වූ චක්‍රාවාටය තුළ අපගේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ බව මහා පිපිරුම් වාදයෙන් කියවේ.
ආරම්භයේ දී පෘථිවිය දැඩි උණුසුම් වස්තුවක් වූ අතර ගිනි කඳු හෙවත් යමහල් ක්‍රියාකාරිත්වය අධික විය. පසුව පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වී වාෂ්පශීලි බව අඩු ඝනත්වයෙන් වැඩි ලෝහවලින් පෘථිවියේ හරය (Core) නිර්මාණය විය. ඉන් පසුව සැහැල්ලු සිලිකාමය පාෂාණ මගින් පෘථිවි කබොල නිර්මාණය වූ බව විශ්වාස කෙරේ.
පෘථිවිය මධ්‍යයේ තිබූ විවිධ මූලද්‍රව්‍ය එකිනෙක අතර ප්‍රතික්‍රියා කර විවිධ වායු වර්ග හට ගැනුණි. පෘථිවියේ මුල් ම වායුගෝලය කාබන් ඩයොක්සයිඩ් (CO2), මෙතේන් (CH4), හයිඩ්රජන් සල්ෆයිඩ් (H2S) වැනි වායුවලින් සමන්විත විය. මුල් වායුගෝලයේ ඔක්සිජන් වායුව (O2) නො තිබීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකි ය.
ආරම්භයේ දී පෘථිවියෙහි තිබූ අධික උණුසුම හේතුවෙන්, පෘථිවිය මත වූ ජලය වාෂ්ප වී පසු ව එම ජල වාෂ්ප ඝනීභවනය වී වලාකුළු සෑදිණි. මෙම වලාකුළුවල අඩංගු ඉතා කුඩා ජල බිඳිති එකතු වී වර්ෂාව ලෙස පෘථිවියට පතිත වීම ඇරඹිණි. ඉන්පසු වසර ගණනාවක් පුරා මහා වර්ෂාවක් පෘථිවිය මතට නො කඩවා ඇද හැලුණු බවත් ලවණවලින් සරු වූ මෙම වැසි ජලය පෘථිවියේ පහත් ස්ථානවල එකතු වී සාගර නිර්මාණය වූ බවත් විශ්වාස කෙරේ.