පරිසරයක වාසය කරන ජීවීන් හා අජෛව සංඝටක පිළිබඳ දැනුම ලබා ගැනීම සඳහා 12.3 පැවරුමෙහි නිරත වන්න.
ඉහත ඔබ නිරත වූ පැවරුමට සමාන පැවරුමක් ස්වභාවික පරිසරයක් ආශ්‍රිතව සිදු කර ලබා ගත් රූප සටහන් 12.9 රූපයේ දැක්වේ.
පරිසරය ජීවී සංඝටක (ශාක හා සතුන්) හා අජෛව සංඝටකවලින් සමන්විත බව ඔබට අවබෝධ වනු ඇත.
කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලු ම ජීවී ප්‍රජා හා ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය එක්ව ගත් කල පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ.
නිදසුන් :- පොකුණක්, වනාන්තරයක්, දිරාගිය ශාක කොටයක්, ගල්පර සහිත මුහුදු වෙරළක්, තණබිමක්
පරිසර පද්ධතියක දක්නට ලැබෙන සම්බන්ධතා (අන්තර්ක්‍රියා) පිළිබඳ මීළඟට සලකා බලමු.
පරිසර පද්ධතියක ජීවීන් හා ජීවීන් අතර පවතින අන්තර්ක්‍රියා ජීවී-ජීවී සම්බන්ධතා ලෙස හැඳින්වේ. මෙම සම්බන්ධතා පවත්වනුයේ පහත දක්වා ඇති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ය.
● ආහාර
● ආරක්ෂාව
● ප්‍රජනනය
එවැනි අන්තර්ක්‍රියා සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
● සතුන් විසින් ශාක ආහාරයට ගැනීම.
● ඇතැම් විලෝපික සතුන් වෙනත් සතුන් ආහාරයට ගැනීම.
● ඇතැම් ක්ෂුද්රජීවීන් ජීවී දේහ මත යැපීම.
● ඇතැම් සතුන් වාසස්ථාන ලෙස ශාක භාවිතයට ගැනීම.
● ආරක්ෂාව සඳහා සතුන් ශාක අතර සැඟවී සිටීම.
● ශාකවල ව්‍යාප්තිය සඳහා සතුන් වැදගත් වීම.
● ඇතැම් ශාක කෘමීන්ගෙන් නයිට්‍රජනීය පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම (කෘමි භක්ෂක ශාක).
● ජීවයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ප්‍රජනනය මගින් නව ජනිතයන් බිහි කිරීම.
පරිසර පද්ධතියක වෙසෙන ජීවීන් හා අජෛව සංඝටක අතර පවතින අන්තර්ක්‍රියා ජීවී-අජීවී සම්බන්ධතා ලෙස හැඳින්වේ. ජීවියා වාසය කරන ස්ථානයෙන් ජලය, වාතය, ආලෝකය වැනි අජෛව සාධක ලබා ගැනීමට වාසස්ථානය සමග අන්තර්ක්‍රියා සිදු කරයි.
නිදසුන් :-
● ශාක ප්‍රභාසංශ්ලේෂණය සඳහා සූර්ය ශක්තිය යොදා ගැනීම.
● ශාක පසෙන් ජලය උරා ගැනීම.
● ශාක හා සතුන් ශ්වසනය සඳහා වාතයේ ඔක්සිජන් ලබා ගැනීම.
● ශාක ප්‍රභාසංශ්ලේෂණය සඳහා වාතයේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම.
● ශාක ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස වාතයට ඔක්සිජන් ලබාදීම.
වාසස්ථානවල ඇති විශේෂිත පරිසර තත්ත්වවලට ගැළපෙන පරිදි එහි වෙසෙන ජීවින් ද හැඩ ගැසී ඇත. මෙය අනුවර්තනය ලෙස හැඳින්වේ.
නිදසුන් – වියළි පරිසර තත්ත්වවල දී උත්ස්වේදනය අවම කිරීමට ශාක හැඩගැසී තිබීම.
පරිසර පද්ධතියක වෙසෙන අජෛව සංඝටක අතර පවතින අන්තර්ක්‍රියා අජීවී-අජීවී සම්බන්ධතා ලෙස හැඳින්වේ.
නිදසුන් :-
● ජලය මගින් සිදු වන පාංශු ඛාදනය
● සූර්ය තාපය හා ජලය හේතුකොට ගෙන සිදුවන පාෂාණ ජීරණය