අඳුරේ දී අපට කිසිවක් දැකගත නොහැකි ය. ඊට හේතුව දෘෂ්ටික සංවේදනය ඇති වීම සඳහා ආලෝකය අවශ්‍ය වීම යි. අපට යම් වස්තුවක් පෙනෙන්නේ එහි සිට අපේ ඇස් වෙත ආලෝකය පැමිණෙන්නේ නම් පමණි.
ඉටිපන්දම් දැල්ලක් හෝ විදුලි බුබුළක් වැනි ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු නම් වන අතර අපට ඒවා පෙනෙන්නේ ඒවායේ සිට අපේ ඇස් වෙත ආලෝකය පැමිණෙන බැවිනි. ආලෝකය නිකුත් නොකරන එනම් අදීප්ත වස්තු අපට පෙනෙන්නේ සූර්යයාගෙන් හෝ කෘත්‍රිම ආලෝක ප්‍රභවයන්ගෙන් නිකුත් කරන ආලෝකය එම වස්තු මත පතිත වී ඉන් පරාවර්තනය වී අපගේ ඇස් වෙත පැමිණීමෙනි.
සමහර වස්තු තුළින් ආලෝකය ගමන් කරයි. ඒවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය වේ. (නිදසුන්: අවර්ණ වීදුරු, පොලිතීන්) යමක් තුළින් ආලෝකය ගමන් නොකරන්නේ නම් එය පාරාන්ධ වස්තුවකි (නිදසුන්: ගලක්, ගඩොලක්). තවත් සමහර ද්‍රව්‍ය තුළින් ආලෝකය අවිධිමත් ලෙස දිශාව වෙනස් කරගනිමින් ගමන් කරන අතර එසේ පැමිණෙන ආලෝකය මගින් වස්තූන් පැහැදිලි ව හඳුනාගත නොහැකි ය. එබඳු ද්‍රව්‍ය පාරභාසක ද්‍රව්‍ය වේ (නිදසුන්: ටිෂූ කඩදාසි, තෙල් කඩදාසි).
ආලෝකය ගමන් කරන දිශාව දැක්වීම සඳහා ඊ හිසක් සහිතව අඳිනු ලබන සරල රේඛාවකින් ආලෝක කිරණයක් නිරූපණය කරනු ලැබේ. මෙහි දී කිරණයේ දිශාව පෙන්වීම සඳහා ඊ හිස අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ය.
කිරණ සමූහයක් හඳුන්වන්නේ කදම්බයක් නමිනි. සමාන්තර වූ කිරණ සමූහයක් එක් වූ විට සෑදෙන්නේ සමාන්තර කදම්බයකි. ආලෝක කිරණ යම් තැනකට එකතු වන අන්දමට ගමන් ගන්නා කිරණ නිසා සෑදෙන්නේ අභිසාරී කදම්බයකි. යම් තැනකින් ඉවතට විහිදී යන අන්දමට ගමන් ගන්නා කිරණ නිසා සෑදෙන්නේ අපසාරී කදම්බයකි.
දැන් අපි මීට පෙර ශ්‍රේණිවල දී ඉගෙන ගත් තල දර්පණවලින් සිදු වන පරාවර්තනය (reflection) කෙටියෙන් විමසා බලමු.
මුහුණ බලන කණ්ණාඩි අප හොඳින් දන්නා තල දර්පණ වේ. තල දර්පණයක පෘෂ්ඨය මත පතිත වන ආලෝක කිරණ ආපසු හැරී ගමන් කිරීම පරාවර්තනය නමින් හැඳින්වේ.
තල දර්පණයක් මත ලම්බකව පතනය වන ආලෝක කිරණයක් (AB) පරාවර්තනය වන අයුරු 5.3 රූපයේ දැක්වේ. එහි පරාවර්තිත කිරණය BA වේ.
● 5.4 රූපයෙහි MN වලින් දැක්වෙන්නේ තල දර්පණයකි. AB යනු දර්පණයේ පරාවර්තන පෘෂ්ඨයේ B ලක්ෂ්‍යය මත පතිත වන කිරණයකි. එනම් AB කිරණය මෙහි පතන කිරණයයි. එම කිරණය BC ඔස්සේ පරාවර්තනය වේ.
● BX වලින් දැක්වෙන්නේ පතන ලක්ෂ්‍යයේ දී දර්පණයට ලම්බකව අඳින ලද මනඃකල්පිත රේඛාවකි. එය හඳුන්වන්නේ පතන ලක්ෂ්‍යයේ අභිලම්බය නමිනි.
● පතන කිරණය සහ අභිලම්බය අතර කෝණය පතන කෝණය (i) නමින් හැඳින්වේ. අභිලම්බය සහ පරාවර්තන කිරණය අතර කෝණය පරාවර්තන කෝණය (r) නමින් හැඳින් වේ.
පරාවර්තන නියම (laws of reflection) දෙකක් ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇත.
පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් යන මේවා එක ම තලයක පවතියි.
පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙකට සමාන ය.
එනම් i=r ලෙස පවතී.
තල දර්පණයක් ඉදිරියේ ඇති ලක්ෂ්‍යමය වස්තුවක ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය පිළිබඳ ව ඔබ ඉගෙන ගෙන ඇති කරුණු කෙටියෙන් විමසා බලමු.
5.5 රූපයේ MN නම් තල දර්පණය ඉදිරියේ O නමැති ලක්ෂ්‍යමය වස්තුව ඇත. O සිට දර්පණය වෙත එන කිරණ 2ක් OA හා OC වලින් දැක්වේ. එම කිරණ පිළිවෙළින් AB සහ CD ඔස්සේ පරාවර්තනය වී නිරීක්ෂකයාගේ ඇස වෙත පැමිණේ.
මෙම කිරණ දෙක පමණක් නොව O සිට දර්පණය වෙත එන බොහෝ කිරණ මෙසේ පරාවර්තනය වී නිරීක්ෂකයාගේ ඇස වෙතට පැමිණේ.
නිරීක්ෂකයාගේ ඇසට මෙම කිරණ පෙනෙන්නේ I නම් ලක්ෂ්‍යයේ සිට එන්නාක් මෙනි.
එබැවින් O නම් වස්තුව I හි තිබෙන්නාක් මෙන් නිරීක්ෂකයාට පෙනෙයි.
● සත්‍ය වශයෙන්ම ආලෝකය මෙම ප්‍රතිබිම්බයේ සිට නොපැමිණේ. ආලෝක කිරණ, මෙම ප්‍රතිබිම්බය ඇති වන ස්ථානයේ නොමැති හෙයින් එම ප්‍රතිබිම්බය තිරයක් මත ලබා ගත නොහැකි ය.
● එම නිසා මෙම ප්‍රතිබිම්බය අතාත්වික ප්‍රතිබිම්බයක් ලෙස හැඳින්වේ.
● තල දර්පණ ඉදිරියේ තබන ලද වස්තුවලින් සෑදෙන සෑම ප්‍රතිබිම්බයක් ම අතාත්වික ය.
● දර්පණයේ සිට වස්තුවට ඇති දුර (වස්තු දුර), දර්පණයේ සිට ප්‍රතිබිම්බයට ඇති දුරට (ප්‍රතිබිම්බ දුරට) සමාන වේ.
● තල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බ, වස්තුව හා සර්වසම වේ. නමුත්, ප්‍රතිබිම්බය පාර්ශ්වික ලෙස අපවර්තනය වේ. එනම්, ප්‍රතිබිම්බය පෙනෙන්නේ පැති මාරු වී ය.