ප්‍රභාසංශ්ලේෂණය

ශාක ස්වයංපෝෂී වේ. එනම් තම දේහය තුළ ම ආහාර නිෂ්පාදනය කරගනු ලබයි. එම නිසා සිය පැවැත්මට මෙන් ම සතුන්ගේ පැවැත්මට ද දායක වීමට ශාකවලට හැකියාව ලැබී ඇත.

ශාක විසින් සිදු කරනු ලබන ආහාර නිපදවීමේ ජෛව ක්‍රියාවලිය වන ප්‍රභාසංශ්ලේෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා 11.1 රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

ශාකයක ආහාර නිපදවන ප්‍රධානත ම අවයවය වනුයේ ශාක පත්‍රයයි. ප්‍රභාසංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම සඳහා අවශ්‍ය සාධක සහ එම සාධක ලබා ගන්නා ආකාරය පහත දක්වා ඇත.
● කාබන් ඩයොක්සයිඩ් – වා‍යුගෝලයේ සිට පත්‍ර වල පුටිකා හරහා කාබන්ඩයොක්සයිඩ් පත්‍රය තුළට ගමන් කරයි.
● ජලය – පසේ සිට මූලකේශ තුළට ජලය අවශෝෂණය කෙරේ. ඉන්පසු ශෛලම පටකය ඔස්සේ ශාක පත්‍ර කරා ගමන් කරයි.
● හරිතප්‍රද (ක්ලෝරොෆිල්) – හරිතප්‍රද යනු කොළ පැහැති වර්ණකයකි. ශාක පත්‍රයේ සෛලවල ඇති හරිතලව තුළ හරිතප්‍රද පිහිටයි. හරිතප්‍රද මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරයි.
● ආලෝක ශක්තිය – ශාක පත්‍ර මත පතනය වන සූර්යාලෝකයෙන්, ආලෝක ශක්තිය අවශෝෂණය කිරීම හරිතප්‍රද මගින් සිදු කරයි.

ශාකවල ආහාර නිපදවන්නේ ශාක සෛල තුළ පිහිටි හරිතලව නම් වූ ඉන්ද්‍රියිකා තුළ ය.
ශාක සෛල තුළ ඇති හරිතප්‍රද මගින් සූර්යාලෝකයෙන් අවශෝෂණය කර ගන්නා ආලෝක ශක්තිය භාවිතයෙන් කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ශාක තුළ දී සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභාසංශ්ලේෂණය ලෙස හැඳින්වේ.
ප්‍රභාසංශ්ලේෂණයේ දී ඵල ලෙස ග්ලූකෝස් හා ඔක්සිජන් නිපදවේ. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය පහත සඳහන් පරිදි වචන සමීකරණයකින් ඉදිරිපත් කළ හැකි ය.

ප්‍රභාසංශ්ලේෂණයේ දී නිපදවෙන ග්ලූකෝස් පත්‍රය තුළ දී පිෂ්ටය බවට පරිවර්තනය වේ. මෙම පිෂ්ටය සුක්රෝස් බවට පරිවර්තනය වී ශාකයේ අවශ්‍ය ස්ථාන (වර්ධන අග්‍ර සහ සංචිත අවයව) කරා පරිවහනය වේ.