පූර්ණ සංඛ්‍යාවක සාධක හා ගුණාකාර

පූර්ණ සංඛ්‍යාවක සාධක හා ගුණාකාර සෙවීමට ඔබ 6 ශ්‍රේණියේ දී ඉගෙන ගෙන ඇත. ඒ පිළිබඳ දැනුම නැවත මතකයට නගා ගනිමු.
දැන් අපි 36හි සාධක සොයමු.
36 පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර සැලකීමෙන් 36හි සාධක සොයමු.

36 = 2 × 18
36 = 3 × 12
36 = 4 × 9
36 = 6 × 6

කිසියම් පූර්ණ සංඛ්‍යාවක්, පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට, ඒවා එක එකක් මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වේ.

ඒ අනුව 36හි සාධක 1, 2, 3, 4, 6, 9, 12, 18 සහ 36 වේ.

දැන් අපි සංඛ්‍යාවක ගුණාකාර සොයන ආකාරය විමසා බලමු.

13හි ගුණාකාර ලබා ගනිමු.
13, පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 13හි ගුණාකාරයක් ලබාගත හැකි ය.

13 × 1 = 13 13 × 2 = 26 13 × 3 = 39 13 × 4 = 52

එනම්, 13, 26, 39, 52 යනු 13හි ගුණාකාර කිහිපයක් ය. 13, ඒ සෑම සංඛ්‍යාවක ම සාධකයක් වේ. මේ නිසා 13 සාධකයක් වන සෑම සංඛ්‍යාවක් ම 13හි ගුණාකාරයක් වේ.