සම්ප්‍රයුක්ත බලය

යාන්ත්‍රික දෝෂයක් නිසා මහ මඟ නැවතී ඇති මෝටර් රථයක් එක් අයකු විසින් ඉදිරි දිශාවට තල්ලු කිරීමට උත්සාහ කළ අවස්ථාවක් 9.1 රූපයේ දැක්වේ. යෙදූ බලය මෝටර් රථය චලනය කිරීමට ප්‍රමාණවත් නොවූ නිසා එම රථය චලනය නොවී ය. ඉන් පසු දෙදෙනකු විසින් මෝටර් රථය තල්ලු කිරීමට උත්සාහ කළ අවස්ථාවක් 9.2 රූපයේ දැක්වේ. එම අවස්ථාවේ දී ද මෝටර් රථය චලනය නොවී ය. නමුත් 9.3 රූපයේ දැක්වෙන්නේ තිදෙනකු  විසින් මෝටර් රථය තල්ලු කිරීමට උත්සාහ කළ අවස්ථාවකි. එම  අවස්ථාවේ දී මෝටර් රථය චලනය විය. 

මෙසේ මෝටර් රථයක් තල්ලු කිරීමට එය මත සියලු ම බල යෙදිය යුත්තේ චලනය කිරීමට අවශ්‍ය දිශාවට ය.

එක් අයකු විසින් මෝටර් රථය තල්ලු කරනු ලබනවාට වඩා කිහිපදෙනකු එය තල්ලු කිරීම නිසා බල සියල්ල එකතු වීමෙන් එකම දිශාවට, වඩා  විශාල බලයක් සෑදීම නිසා එම කාර්යය පහසුවෙන් සිදු කරගත හැකි ය.

එනම් මෝටර් රථය මත යෙදූ බල සියල්ල ම එක ම දිශාවට යෙදූ නිසා සිදු  වන්නේ තල්ලු කරන බල සියල්ල ම එකතු වී විශාල තනි බලයක් සෑදීමයි.

බල එකකට වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ල ම නිසා ඇති වන ප්‍රතිඵලය ඇතිකරන තනි බලය එම බලයන්හි සම්ප්‍රයුක්තය (resultant force) නම් වේ. 

වස්තු මත බල යෙදීමේ දී විවිධ දිශාවලට බල යෙදිය හැකි ය.
මෙහි දී,
(i) ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්ත ය (එකම ක්‍රියා රේඛාවක් ඇති බල) සහ
(ii) සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය (සමාන්තර එහෙත් වෙනස් ක්‍රියා රේඛා ඇති බල)
පිළිබඳ ව සාකච්ඡා කෙරේ.