බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන්

බුදුරජාණන් වහන්සේගේ චරිතයේ පිළිබිඹු වන ආචාරශීලී ගුණාංගයන්ගෙන් මෙහි දැක්වෙන්නේ කිහිපයකි.

සුහදශීලී කතාබහ
ආගන්තුක සත්කාරය
මහජන මතයට ගරු කිරීම
අල්පශබ්දතාව
නිහතමානි බව

සුහදශීලී කතා බහ

මේ පද්‍යය පැළෑනේ සිරි වජිරඤාණ මහනාහිමියන් විසින් ලියන ලද්දකි. පුද්ගල භාෂණය කරණ කොටගෙන මුවින් මහනෙල් මල් සුවඳ විහිදීම හෝ පිළීගඳ වහනය වීම හෝ තීරණය වන බව මෙම පද්‍යයෙන් අපට දෙන පණිවුඩයයි. බුදුරජාණන් වහන්සේ, යමකු තමන් වහන්සේ වෙත පැමිණියේ නම්, එසේත් නොමැති නම් තමන් වහන්සේ යම් තැනකට වැඩම කළේ නම්, ඒ සෑම අවස්ථාවක දී ම සුහදශීලීව, ආචාරශීලීව ඇසුරු කළහ; කතාබහ කළහ. රාජ පූජිත සෝණදණ්ඩ නම් බමුණාගේ ප්‍රකාශයෙන් ද අපට එය වටහා ගත හැකි ය

“ඔහු පවසන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ,
ඒහි සාගතවාදී ය – එන්න, ඔබේ පැමිණීම ඉතා හොඳයි කියා ආගන්තුකයන්
පිළිගන්නා අයෙකි.
සඛිල ය – කනට සුව එළවන කථාබහ කරන්නෙකි.
සම්මෝදක ය – සතුටුසාමීචි කථා ඇත්තෙකි.
අබ්භාකුටික ය – නොකැමැත්තෙන් බැම හැකිළීම නොකරන්නෙකි.
උත්තානමුඛ ය – විවෘත කථා බහ ඇත්තෙකි.
පුබ්බභාසී ය – පළමුවෙන් ම කථා කරන්නෙකි
යැයි”

බමුණා ප්‍රකාශ කර සිටියේ තම බ්‍රාහ්මණ පිරිසට ය. එසේ ම සකුළුදායි පිරිවැජියා දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පවසා සිටියේ, “ස්වාමීනි, අපි යම් කථාවකින් උනිමු නම් ඒවා භාග්‍යවතුන් වහන්සේට පසු වත් ඇසීමට දුර්ලභ නොවේ. ඔබ වහන්සේගේ අරුත්බර දේශනාව කරන්න” යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ අන්‍ය ආගමික පිරිස් පවා බුදුරදුන්ගේ අරුත්බර ප්‍රියශීලී කථාබහ අගය කළ බව ය. සත්‍ය වචනයට, ප්‍රිය වචනයට අසීමිත බලයක්, ශක්තියක් ඇත. අප ඒ බව අවබෝධ කර ගත යුතු වේ; හැමවිට ම සත්‍යවාදී ව ප්‍රිය තෙපුලෙන් ම අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු වේ. එය අපගේ දියුණුවට හේතු වේ. සිරිත් මල්දමේ එන මේ පද්‍ය දෙකෙන් ද එම උපදේශය ලබා දෙයි.