මානව ප්‍රජනනය

යොවුනුදාව (Adolescence)

ලිංගික වශයෙන් පරිණත වීම හෙවත් යොවුන් විය උදාවීම යොවුනුදාව ලෙස හැඳින්වේ.
යොවුනුදාව මගින් පිරිමි හා ගැහැණු ලෙස පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි වන ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවේ.

ද්වීතියික ලිංගික ලක්ෂණ(Secondary sexual charasteristics)

යොවුනුදාවත් සමග පුරුෂයින්ගේ හා ස්ත්‍රීන්ගේ ඇතිවන ලක්ෂණ ද්වීතියික ලිංගික ලක්ෂණ ලෙස හැඳින්වේ.

පුරුෂයින් තුළ ඇතිවන ද්විතියික ලිංගික ලක්ෂණ

වයස අවුරුදු 13-16 අතර මෙම වෙනස් වීම් සිදුවීම ආරම්භ වේ. මේ සඳහා ටෙස්ටොස්ටෙරොන් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය බලපායි.
■ මුහුණ, පපුව, කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයව අවට රෝම වැඩේ.
■ උරහිස් පළල් වේ.
■ ස්වරාලය විශාල වී කටහඩ ගැඹුරු වේ.
■ අස්ථි හා පේශි වර්ධනය වේගවත් වී දේහය විශාල වේ.
■ වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීම ආරම්භ වේ.
■ ප්‍රජනක අවයව වර්ධනය වී විශාල වේ.

ස්ත්‍රීන් තුළ ඇතිවන ලක්ෂණ

වයස අවුරුදු 10-14 අතර මෙම වෙනස්වීම් ඇති වීම ආරම්භ වේ. මේ සඳහා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් යන හෝර්මෝන බලපායි.
■ කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයව අවට රෝම වැඩේ.
■ උකුල පළල් වේ.
■ ස්ථන ග්‍රන්ථි වර්ධනය වේ.
■ අධශ්චර්මයේ මේදය තැන්පත් වී දේහය පෘෂ්ඨිමත් වේ.
■ අස්ථි හා පේශි වර්ධනය වේගවත් වී දේහය විශාල වේ.
■ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මෝචනය (ඔසප් චක්‍රය) ආරම්භ වේ.